Hela Clothing කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමට යයි

ලොව සුප්‍රසිද්ධ විලාසිතා සන්නාම වෙනුවෙන් නිමි ඇඳුම් නිපදවන මෙරට පිහිටි මුල් පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන හෙල ක්ලෝතින්ග් (Hela Clothing) සමාගම ඉදිරි මාස 12ක කාලයක් ඇතුළතදී කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික කොටස් නිකුතුවක් සිදු කිරීමක සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එම සමාගම් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලංක ජිනදාස මහතා පසුගියදා බ්ලූම්බර්ග් වෙබ්අඩවිය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් අතරවාරයේදී මෙම කරුණු පවසා තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක් වටිනා Hela Clothing සමාගමේ 20%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ.

මෙලෙස රැස් කරගන්නා ප්‍රාග්ධනය සිය සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් උතුරු අප්‍රිකානු කලාපය වෙත අවතීර්ණ කිරීමටත්, දැනට සිදු කරන නැගෙනහිර අප්‍රිකානු කලාපීය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමටත් යොදා ගන්නා බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී සඳහන් කර තිබේ.

අද වනවිට Hela Clothing සමාගම හරහා යට ඇඳුම්, රාත්‍රී ඇඳුම් සහ ළමුන්ගේ ඇඳුම් නිෂ්පාදනය කරයි. සමාගම සඳහන් කරන ආකාරයට ඉදිරියේදී සිය සැලසුම අනුව ඩොලර් බිලියනයක ඇඟලුම් කර්මාන්තයක් පවතින උතුරු අප්‍රිකාවේ පිහිටි ඊජිප්තුව වෙත ඇතුළුවීමට හැකියාව ලැබීම සිය සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 250ක් දක්වා 11%කින් වර්ධනය වීමක් අපේක්ෂෘ කෙරේ.

එහිදී 2022 වසරේ පළමු කාර්තුවේදී Hela Clothing ඊජිප්තුව තුළ සිය නිෂ්පාදන අලෙවිසැලක්ද පිහිටුවීමට සැලසුම් කර තිබේ. මෙම සැලසුම් සියල්ලම හරහා යුරෝපා කලාපයට සහ ඇමෙරිකානු කලාපයට සිදු කරන සිය නිෂ්පාදන සැපයුම් දාමය සඳහා ගත වන කාලය අඩු කිරීම අපේක්ෂාව බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

දැනටමත් ඉතියෝපියාව සහ කෙන්යාව තුළ ක්‍රියාත්මක Hela Clothing කර්මාන්තශාලා තුළ 2,000කට අධික සේවක සංඛ්‍යාවක් සේවය කරයි. එසේම එම කර්මාන්තශාලා එම සමූහයේ ආදායමෙන් 70%ක් සඳහා දායකත්වය ලබා දෙන බවත් පවසයි. එහිදී සිය කෙන්යානු කර්මාන්තශාලාව තවදුරටත් පුළුල් කිරීමටද සැලසුම් කර ඇති අතර, ඉතියෝපියානු කර්මාන්තශාලාව තුළ සිදු කරන කාන්තා උඩුකය යට ඇඳුම් නිෂ්පාදනය ඉහළ නැංවීමත් අරමුණ වී ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට අදවනවිට එහි සමස්ත ආදායමෙන් 60%කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවෙන් පිටදීය.

Hela Clothing සමාගමෙහි මෙරට කර්මාන්තශාලාව බියගම පිහිටා තිබේ. සමාගමේ වත්මන් සභාපතිවරයා වන්නේ ඒ.ආර්. රාසයියා මහතාය. එසේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ඩිලංක ජිනදාස (ප්‍රධාන විධායක/අධ්‍යක්ෂ), අරෝෂි පෙරේරා (විධායක නොවන අධ්‍යක්ෂ), අජිත් විජේසිංහ (විධායක නොවන අධ්‍යක්ෂ), ‍ට්‍රීෂෘ පීරිස් (විධායක නොවන අධ්‍යක්ෂ), ගයාන් ගුණවර්ධන (විධායක නොවන අධ්‍යක්ෂ) සහ ෂ්ලොමෝ ඩොරොන් යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට රටවල් තුනක පිහිටි කර්මාන්තශාලා හතක සේවය කරන පිරිස 15,000කට අධික වෙයි. එසේම Hela Clothing යනු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක වටිනාකමක් සහිත සමාගමක් බවත් පවසයි. ලොව සුප්‍රසිද්ධ Tommy Hilfiger සහ Calvin klein යන විලාසිතා සන්නාමවල ඇඟලුම්හි මෙරට නිෂ්පාදකයා වන්නේ එම සමාගමයි.

Visits: 1063