ස්විස් තානාපති ඇ.ඩොලර් මිලියන 4ක වෛද්‍ය අධාර පිරිනමයි

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි..

මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් සිවිස්ටර්ලන්ත ජනතාවට සිය ස්තුතිය පුද කළ අගමැතිවරයා, දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහි දී අවධාරණය කර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ ප්‍රතිදේහ ජනන පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් මෙසේ පිරිනැමූ වෛද්‍යාධාර තොගය අතර වේ.

මේ අතර ඉතා නුදුරු අනාගතයේ දී සංචාරක ව්‍යාපාරය යළි පණගැන්වෙනු ඇති බවට පවතින ලෝක අපේක්ෂාව අනුව ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් හා සේවාවන් වැඩි දියුණු කිරීමට ස්විස්ටර්ලන්ත රජය සහයදක්වන බව තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ විශ්වාසය පළ කළේය.

කොවිඩ් අභියෝගය ජයගැනීම උදෙසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලට ස්විස්ටර්ලන්ත රජය ලබාදෙන සහන සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මීට පෙර අවස්ථාවකදී එරට විදේශ ඇමති ඉග්නේෂියෝ කැසිස් මහතා, “ අපට මෙම වසංගතය අවසන් කළ හැක්කේ එකාවන්ව එක්වීමෙන් පමණයි. අන්තර්ජාතික සහයෝගය ඊට අත්‍යවශ්‍යයි” යනුවෙන් පවසා තිබුණු බවත් අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Visits: 31