NIFL නිසා වෙළෙඳපොළ ඉහළ ගියත් පිරිවැටුම තවත් පහළට

NIFL හි කොටස් වටිනාකම් ඉහළ යාමත් සමගම අද (ජූනි 25) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළත්, වෙළෙඳ පොළ සඳහා වන ආයෝජක සහභාගිත්වය පහළ මට්ටමකට පත්ව තිබූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව පිට පිට තෙවැනි දිනටත් පිරිවැටුම පහළ වැටීමක් සිදුවිය.

මේ අතර අද දිනයේදී කුකුලුමස් සමාගම්හි කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් ඇති වී තිබෙන අතර, එහිදී විශේෂයෙන්ම බයිරහා ෆාම්ස් කොටස් වෙත ඉල්ලුම වැඩි වී ඇත. එසේම මිල අවිනිශ්චිත, ගැනුම්කරුවන් වැඩි උනන්දුවක් නොදක්වන සමාගම්හි කොටස් මිලදී ගැනීම පිළිබඳවද ආයෝජකයන් තුළ උනන්දුවක් පැවැති බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,744.04ත් ඒකක 7,827.64ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,809.15ක් බවට පත්විය. එය පෙරේදා (ජූනි 23) දිනයට සාපේක්ෂව ඒකක 67.01ක් එනම් +0.87%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 117ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 65ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+42.99), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.45), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+5.9), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+3.09), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+1.7), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-12.97), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.0), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (-1.28), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-1.08), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-0.81) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,042.63ක අගයක් ගත් අතර, එය පෙරේදා (23දා) ‍ට සාපේක්ෂව ඒකක 13.03 ක එනම් +0.43%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.24ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (23දා) වාර්තා කළ රුපියල් බිලියන 1.55ට සාපේක්ෂව 22% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.46ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.78%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 65.47ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 67.07ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 1.6කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටත2ට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.35ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 24.82 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 27.16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 223ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 18%කි. එසේම බැංකු සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 183ක සහ රුපියල් මිලියන 181ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 375