නෙස්ලේ මව් සමාගම නෙස්ලේ ලංකා කොටස් වැඩි කරගනී, කොටස් වටිනාකමත් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි කොටස් 211,410ක් මිලදී ගැනීමට එහි මව් සමාගම වන ස්විස්ටර්ලන්තයේ පිහිටි Nestle S.A. සමාගම පියවර ගෙන ඇතැයි පවසයි.

පසුගිය ජූනි 21 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව තිබේ. ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම Nestle S.A. සතු නෙස්ලේ ලංකා පීඑල්සී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය 49,005,156ක් දක්වා ඉහළ නැග ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 91.21%ක් බව සමාගම සඳහන් කරයි.

පසුගිය මැයි 12 වැනිදා නිකුත් කෙරුණු 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන නෙස්ලේ (ලංකා) පීඑල්සී සමාගමෙහි වාර්ෂික වාර්තාව තුළ එහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 48,793,746ක් එහි මව් සමාගම වන ‍Nestle S.A. වෙත හිමිව තිබි ඇත. එය ප්‍රතිශතයක් ලෙස 90.82කි.

ඒ අනුව මෙහිදී Nestle S.A. සතුව ඇති නෙස්ලේ (ලංකා) පීඑල්සී කොටස් ප්‍රතිශතය 0.39%කින් ඉහළ ගොස් ඇත.

නෙස්ලේ ලංකා කොටස් හිමිකාරීත්වයෙන් 493,037ක් Citibank New York S/A Norges Bank Account 2 ලෙස හිමිව තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 0.92% කි. එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවිත රක්ෂණ අරමුදල වෙත 264,404ක කොටස් ප්‍රමාණයක් හිමිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.49% කි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී නෙස්ලේ (ලංකා) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 1204.25ක් ලෙස සටහන්ව තිබූ අතර පසුගිය බදාදා (23දා) එහි වටිනාකම වූ රුපියල් 1203.00ට සාපේක්ෂව රුපියල් 1.25කින් එනම් 0.10%කින් ඉහළ යාමකි.

1866 වසරේදී ඇන්ග්ලෝ ස්විස් කන්ඩෙන්ස්ට් මිල්ක් කම්පැනි ලෙස පිහිටවුණු Nestle S.A සමාගම වසර 155ක් පැරණි සමාගමකි. එය නෙස්ලේ ඇන්ඩ් ඇන්ග්ලෝ-ස්විස් කන්ඩෙන්ස්ඩ් මිල්ක් කම්පැනි බවට පත්වන්නේ 1905 වසරේදීය. හෙන්රි නෙස්ලේ එහි නිර්මාතෘවරයාය. එම සමාගම මගින් 1906 වසරේදී ශ්‍රී ලංකාව තුළ සිය ශාඛාවක් පිහිටුවා ඇති අතර එය නෙස්ලේ සිලෝන් කම්පැනි ලෙස නම් විය. පසුව 1980දී නෙස්ලේ ලංකා පීඑල්සී ලෙස එම සමාගම ලැයිස්තුගත කෙරිණි.

Visits: 747