McAffe ඇන්ටිවෛරසයේ නිර්මාතෘ John McAfee සියදිවි නසා ගනී

ලොව පුරා වඩාත් ජනාදරයට පත්ව තිබූ පරිගණක ඇන්ටිවෛරස මෘදුකාංගයක් වන McAffe Antivirus හි නිර්මාතෘවරයා වන John McAfee ස්පාඤ්ඤයේ සිරමැදිරියක් තුළදී සියදිවි නසා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මිය යන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවිය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුකළ බදු වංචාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඔහු එරට සිරකඳවුරක රඳවා තැබුණි.

ඔහු රඳවා තිබූ සිරමැදිරියෙහිදී ගෙල සිරකරගැනීමෙන් ඔහු මෙලෙස සියදිවි නසා ගෙන තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සිරකඳවුරේ වෛද්‍යවරුන් උත්සාහ ගත්තද එය අසාර්ථක වී ඇත. ස්පාඤ්ඤ අධිකරණය මගින් John McAfee පිළිබඳ චෝදනා යටතේ, ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිටුවහල් කිරීමට තීන්දු කර පැය කිහිපයකට පසුව ඔහු මෙලෙස සිය දිවි නසා ගෙන තිබේ.

2014 සිට 2018 සිව් වසරක කාලයක් තුළදී John McAfee සිය බදු ආදායම් සැඟවූ බවට ලැබූ චෝදනාව යටතේ මෙලෙස වරෙන්තු ලබා තිබුණි. උපදේශාත්මක සේවා, සම්මන්ත්‍රණ ඇමතීම්, අන්තර්ජාලය හරහා ක්‍රිප්ටෝකරන්සි ඩිජිටල් මුදල් ඒකක ප්‍රවර්ධනය සහ සිය ජීවිත කතාව පිළිබඳ ප්‍රකාශන හිමිකම අලෙවි කිරීම යන ක්‍රම හරහා ඔහු ආදායම් රැස් කර තිබුණි.

එසේම ඔහු රැස්කරගත් ආදායම් හරහා සුඛෝපභෝගී යාත්‍රා දේපළ සහ තවත් වත්කම් විවිධ පුද්ගලයන්ගේ නම් හරහා ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ. පසුගිය වසරේදී ඔහු ස්පාඤ්ඤයේ සිට තුර්කිය දක්වා ගුවන් යානයක් මගින් යාමට සූදානම් වෙද්දී අත්අඩංගුවට පත්විය. ඔහු මිය ගිය දිනයේ පෙරවරුවේදී ස්පාඤ්ඤ අධිකරණය ඔහු යළිත් ඇමෙරිකාව වෙත පිටුවහල් කිරීමට තීන්දුව ලබා දී තිබුණි.

1987 වසරේදී කැලිෆෝනියාවේ සැන්ටා ක්ලේරා හිදී ඔහු McAfee Corp. සමාගම පිහිටුවීය. ඒ හරහා ලොව පළමු පරිගණක ඇන්ටිවෛරස මෘදුකාංගය නිපදවීමට ඔහුට හැකි විය. එසේම වසර ගණනාවක් යනතුරුම පෞද්ගලික පරිගණක සඳහා වන එකම ඇන්ටිවෛරස මෘදුකාංගය ලෙසටද මෙය පැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම සමාගම Fortune 100 සමාගම් අතරටද පත්විය.

කෙසේ වෙතත් 2010 වසරේදී Intel Corp. සමාගම ඩොලර් බිලියන 7.6කට McAfee Corp. සමාගම මිලදී ගත් අතර, පසුව එහි McAfee නිෂ්පාදන සියල්ලම Intel Security ලෙස වෙනස් කරමින් යළිත් වෙළෙඳ පොළට දියත් කිරීම සිදු විය.

පසුව ගෙවුණු කාලසීමාවේදී John McAfee ගේ ජිවිතය බොහෝ සෙයින් වෙනස්කම්වලට ලක්ව ඇති අතර, ඔහු සිදුකළ ආයෝජන අසාර්ථකවීම හරහා මිලයන ගණනින් පාඩු ලබා තිබේ. එසේම අවස්ථා ගණනාවකදීම ඔහු විවිධ රටවලින් දේශපාලන රැකවරණ පැතීමක්ද සිදු කර ඇත. වරෙක ඔහු සිය අසල්වැසියෙකුගේ මරණය සම්බන්ධයෙන්ද සැකකරුවෙකු බවට පත්විය.

2016 වසරේදී එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වූ John McAfee, 2017 වසරේදී ඩිජිටල් මුදල් ඒකක ප්‍රචලිත කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ විය. එහිදී ඔහු මෙම මුදල් ඒකකය ප්‍රචාරය කරන එක් ට්විටර් පණිවුඩයක් වෙනුවෙන් ඩොලර් 105,000ක් අය කරන බවටද වාර්තා විය.

Visits: 337