ලංකා ප්‍රීමියර්ලීග් කණ්ඩායම් 5 වටිනාකම ඩොලර් මිලියන 18යිලු

පසුගිය වසරේදී පැවැති පළමු ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා මිලියන 557ක ජනතාවක් නරඹා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙහිදී රූපවාහිනි, ඩිජිටල් සමාජ අවකාශයන් සහ සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් මෙම ක්‍රිකට් තරගාවලිය නරඹා ඇත.

මෙහිදී ස්කයි ස්පෝර්ට්ස්, සෝනි ස්පෝර්ට්ස් නෙට්වර්ක්, ජියෝ, පීටීවී සහ විලෝ ටීවී යන නාලිකා හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තාන, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල මිලියන 155ක පිරිසක් තරගාවලිය නරඹා ඇත. එසේම සමාජ මාධ්‍ය හරහා තවත් මිලියන 218ක පිරිසක් එය නරඹා තිබේ. මීට අමතරව තරගාවලියේ දිනපතා තරග ආවරණයද ලොව පුරා මිලියන 184ක් පමණ වන මුද්‍රිත මාධ්‍ය පාඨකයන් පිරිසක් වෙත ගොස් ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.   

ඒ අනුව මෙහිදී තරගාවලියේ අනුග්‍රාහකයන් වෙත මාධ්‍ය ඇගයීම (පෙනීම අනුව) එක්සත් ජනපද ඩොලර් මිලියන 54.5ක් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එසේම මෙම තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් පහේ වටිනාකම්ද මෙහිදී ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව පළමු තරගාවලියේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3.98 කි. එසේම ගාල්ල ගැල්ඩියේටර්ස් ඩොලර් මිලියන 3.82ක් ලෙසත්, දඹුල්ල වයිකිංග්ස්, කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් වෙත පිළිවෙලින් ඩොලර් මිලියන 3.54ක්, 3.44ක් සහ ඩොලර් මිලියන 3.19ක් ලෙස වටිනාකම් හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන ආකාරයට 2020 වසරේ සිට 2024 දක්වා කාලය සඳහා මෙම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ නිල හිමිකම FZE නම් නිෂ්පාදන සමාගමට හිමිව තිබේ. තරගාවලියේ පළමු අදියර පසුගිය 2020 වසරේ නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා ක්‍රියාත්මක විය.

මෙම පළමු තරගාවලියේ සාර්ථකත්වයත් සමගින් දෙවැනි තරගාවලිය පිළිබඳව වඩා වැඩි විශ්වාසයකින් පසුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එසේම ඉදිරි වසර කිහිපය ඇතුළතදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ලෝකයේ වඩාත් සාර්ථකතම T20 තරගාවලිය වෙනු ඇතැයිද විශ්වාසය වී තිබේ. මෙම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරට ලබන ජූලි මාසයේදී ඇරඹීමට නියමිතව තිබේ.

Visits: 164