අත්පත් කරගැනීම් සහ ආයෝජන හරහා එක්ස්පෝලංකා ව්‍යාප්තිය පුළුල් කිරීමේ සැලසුම්

මෙරට මුල් පෙළේ ලැයිස්තුගත සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම දැනට ක්‍රියාත්මක ලොජිස්ටික් සේවා ඇතුළු මෙහෙයුම්හි සිට ඉදිරියේදී තවත් වෙළෙඳ පොළ රැසක් වෙතම පිවිසෙමින් සිය ගෝලීය පියසටහන තවදුරටත් පුළුල් කරගැනීමට කටයුතු යොදන බව පවසයි.

එහිදී අත්පත් කරගැනීම් සහ විවිධ සමාගම් වෙත ආයෝජනයන් සිදු කරමින් වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත්වීම අදහස බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමූහයේ සම නිර්මාතෘවරයා මෙන්ම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හනීෆ් යුසුෆ් මහතා පවසයි.

ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම සේවකයන් පස් දෙනෙකුගෙන් කොළඹ නගරයේදී ආරම්භ කළ එක්ස්පෝලංකා සමාගම අද වනවිට ලොව රටවල් 25ක් පුරා ව්‍යාප්ත කාර්යාල 60කට අධික සංඛ්‍යාවකින් සමන්විත, සේවකයන් 2,400කට අධික පිරිසක් සිටින සමාගමක් බවට පත්ව ඇතැයි ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

“අපි රටක ආයෝජනය කරන කොට, අපිට ඒ රටේ ගබඩා පහසුකම්වත් ට්‍රක් රථවත් තිබුණේ නෑ. අපි ආයෝජනය කළේ ඒ රටේ ජනතාව සහ තාක්ෂණය තුළයි. මේ ක්‍රමය අනෙක් සමාගම් හා සැසඳීමේදී අපිට ඉතාමත් හොඳ වේගවත් බවක් ලබා දුන්නා, ඒ වගේම අපගේ ගෝලීය පියසටහන වේගවත්ව ඉදිරියට වර්ධනය කරගන්නත් එය හේතු වුණා.” හනීෆ් යුසූෆ් මහතා මෙහිදී පවසා තිබේ.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී එක්ස්පෝලංකා සමූහය රුපියල් බිලියන 218ක ආදායමක් රැස් කිරීමට සමත්ව ඇත. දැනට වසර හයකට පෙර සමූහය රැස් කරගත් ආදායම රුපියල් බිලියන 56කි. ඒ අනුව එතැන් සිට සෑම වසරකදීම සමූහය සිය ආදායම් 25%කින් වර්ධනය කරගැනීමට සමත්ව සිටියි.

අද වනවිට ලොජිස්ටික් සේවාවන්ට අමතරව ලෙෂර් සහ ට්‍රැවල් ව්‍යාපාරයන් වෙතද පුළුල්ව සිටින එක්ස්පෝ ලංකා සමූහයේ මීළග පියවර මෑතකදී පිහිටවූ සමූහයේ තොරතුරු තාක්ෂණික සමාගම වන ITX360 හරහා සිය වර්ධනය තවදුරටත් තහවුරු කරගැනීම බවත් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී යනීෆ් යුසුෆ් වැඩිදුරටත් පවසා තිබේ.

විශේෂයෙන්ම එක්ස්පෝලංකා ගමන් මගේ වඩාත් වැදගත් සන්ධිස්ථාන කිහිපයක්ම වන බව ඔහු සඳහන් කරයි. එතෙක් පවුලේ හිමිකාරීත්වය සහිත සමාගමක් ලෙස පැවැති සිය ව්‍යාපාරය 2011 වසරේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කරමින් පොදු සමාගමක් බවට පත්වීම ඒ අතරින් ප්‍රධාන වෙයි. එසේම 2012 වසරේදී ඔවුන් සිය Expolanka Freight සමාගම EFL ලෙස සන්නාම වෙනසකට ලක් කර ඇත. අනතුරුව 2014 වසරේදී එය සිංගප්පූරුවේ SG Holdings සමාගම මගින් අත්පත් කරගැනීමත් සමගින්ම ඒ වෙත බහුජාතික සමාගමක පිළිගැනීම හිමි වී තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමූහයේ මීළග ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳව මෙම සම්මුඛ සාකච්ඡාවේදී සිදුකළ විමසීමකට පිළිතුරු දී ඇති ප්‍රධාන විධායක නිලධාරීවරයා මීළග අරමුණ සිය ගෝලීය පියසටහන තවදුරටත් පුළුල් කිරීම බව පවසා තිබේ.

“ගෝලීය ඉල්ලුම වෙනස් වෙමින් පවතිනවා. නව වෙළෙඳ පොළ රැසක් විවෘත වෙනවා. ඒ නිසා අපේ ඉදිරි අවධානය වෙනුවෙන් අපගේ ගෝලීය පියසටහන තවදුරටත් පුළුල් කරගැනීමයි. එහිදී අපි අත්පත් කරගැනීම් සහ සමාගම් වෙත සිදු කරන ආයෝජනය කිරීම් හරහා එය සිදු කරනවා.” ඔහු වැඩිදුරටත් පවසයි.

එසේම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය බෙදාහැරීම් යන අංශවලින් එහා ගොස් සිය සමාගම ඉදිරියේදී අංගසම්පූර්ණ සැපයුම් දාම සමාගමක් බවට පත්කිරීමට අදහස් කරගෙන සිටින බවත් හනීෆ් යුසුෆ් මහතා මෙහිදී පවසා ඇත. ඒ හරහා විවිධ කර්මාන්ත සහ වෙළෙඳ පොළ තුළ අවස්ථාවන් රැසක් හිමි වනු ඇති බවත්, එය මෙම සැපයුම් දාම කර්මාන්තය තුළ මුල් පෙළේ සමාගමක් බවට පත්වීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමූහයට අවස්ථාව උදා කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

මෙහිදී මෑතකදී සමූහය විසින් ආරම්භ කරන ලද තොරතුරු තාක්ෂණික සේවා සම්පාදන සමාගම වන ITX360 පිළිබඳව වැඩි අවධානය යොමු කර ඇති අතර, එය ලොජිස්ටික් හා සම්බන්ධ තාක්ණික විසඳුම්වලට අමතරව තවත් පුළුල් කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් වෙත විසඳුම් ලබා දීමටත් අදහස් කරගෙන සිටියි.

ඒ අනුව කලාපය තුළ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණික සමාගමක් බවට මෙම ITX360 සමාගම පත් කිරීමත් සැලසුම් අතර පවතින බව ඔහු පවසයි.

“අපි විශ්වාස කරනවා ITX360 සමගින් අපිට බොහෝ ව්‍යාපාර වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන් කියලා. ITX360 හරහා ව්‍යාපාර වෙත වගේම බොහෝ කර්මාන්ත වෙතත් විසඳුම් ලබාදේවි. එය ලොජිස්ටික් සේවාවන්ට වඩා ඉදිරියට ගිය අවස්ථාවක්.”

එසේම එක්ස්පෝලංකා සමූහය සිය ලෙෂර් සහ ට්‍රැවල් ව්‍යාපාරයද මෙම වසංගත තත්ත්වයෙන් පසුව වඩාත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වෙනු ඇතැයි යන්නද ඔහුගේ අදහස වී තිබේ.

මේ අතර සමූහගේ සහ නිර්මාතෘවරයෙකු ලෙස සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමූහයේ දිගුකාලීන සැලසුම් පිළිබදව ඉකොනොමි නෙක්ට්ස් වෙබ් අඩවිය සිදුකළ විමසීමකට පිළිතුරු දී ඇති හනීෆ් යුසුෆ් මහතා, තමන් කිසිවිටෙකත් ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන් කටයුතු නොකරන බවත්, ඊයේ දිනයට වඩා හොඳ අද දිනයක් වෙනුවෙන් සැමවිටම කටයුතු කරන බවත් පවසා තිබේ.

“මම කැමතියි කවදාහරි EFL ලොජිස්ටික් ක්ෂේත්‍රයේ ගෝලීය වෙළෙඳනාම අතර පළමු 20 දෙනා අතරට පැමිණෙනවා දකින්න. ඒ වගේම ක්ලැසික් ට්‍රැවල්ස් සමාගම ලෙෂර් සහ ට්‍රැවල් අංශයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත්වීම සහ අපගේ තාක්ෂණික හස්තය වන ITX360 සමාගම තොරතුරු තාක්ෂණය සම්බන්ධ සෑම විසඳුමක්ම සම්පාදනය කරන කලාපයේ පළමු සමාගම් 10 අතරට වෙනවා දැකීමටත් මම කැමතියි.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 704