RIL Property PLC සමාගමේ BreadTalk රු. මිලියන 245කට අලෙවි වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RIL Property PLC සමාගම සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත FoodBuzz (Pvt) Ltd සමාගම අද (ජූනි 23දා) රුපියල් මිලියන 245ක (245,000,000) ක මුදලකට අලෙවි කර ඇතැයි පවසයි.

මෙහිදී අදාළ සමාගමේ ගැනුම්කරුවා ලෙස SS Equity Holdings (Pvt) Ltd නම් සමාගමක් ඉදිරිපත්ව තිබෙන බව RIL Property PLC සමාගම සඳහන් කරයි.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මෙහෙයුම් සිදු කළ සුප්‍රසිද්ධ BreadTalk අවන්හල් ජාලය පවත්වාගෙන ගියේ මෙම FoodBuzz (Pvt) Ltd සමාගමයි. BreadTalk වෙළෙඳ නාමය සිංගප්පූරු වෙළෙඳනාමයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වරලත් අලෙවි නියෝජිතයා වූයේ FoodBuzz (Pvt) Ltd සමාගමයි.

ඒ අනුව FoodBuzz (Pvt) Ltd සමාගමෙහි ඡන්ද හිමි කොටස් මිලියන 108ක් (108,180,020ක්) මෙලෙස හුවමාරු කිරීමක් සිදු කර ඇති බවත්, එය එම සමාගමෙහි 100% ක කොටස් හිමිකම බවත් පැවසෙයි.

පසුගිය මාර්තු මාසයේ 16 වැනිදා නිවේදනයක් නිකුත් කළ RIL Property PLC සමාගම, තමන් මුහුණ දුන් අයහපත්  වාතාවරණය හමුවේ සිය FoodBuzz (Pvt) Ltd සමාගම යටතේ පවතින BreadTalk අවන්හල් ජාලය මාර්තු 20 වැනිදා සිට තාවකාලිකව වසා දමන බව පවසා තිබුණි.

කෙසේ වෙතත් මාර්තු මාසයේ 23 වැනිදා නිවේදනයක් නිකුත් කළ RIL Property PLC සමාගම BreadTalk අවන්හල් ජාලය වසා දැමීමක් සිදු නොවන බවත්, එය අයත් FoodBuzz (Pvt) Ltd සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරිමට සමාගමක් ඉදිරිපත්ව සිටින බව පසුව අනාවරණය කළේය.

Visits: 881