NIFL නිසා ASPI අගයේ කැපී පෙනෙන ඉහළ පහළ යාමක්

අද (ජූනි 23) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිට පිට තෙවැනි දිනටත් මිශ්‍ර ලක්ෂණ පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම ගනුදෙනු සඳහා සුළු කොටස් ප්‍රමාණයක් නිකුත් කර තිබෙන NIFL හි කොටස් වටිනාකම්හි පැවැති වාෂ්පශීලීතාව නිසා සියලු කොටස් මිල දර්ශකයේ ඇතිවූ උච්චාවචනය ආයෝජක සිතිවිලි වෙත දැඩිව බලපෑම් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් දිනයේ අවසන් භාගයේදී NIFL සහ LOLC හි වටිනාකම් යම් ස්ථාවර මට්ටමකට පත්වීම ආයෝජකයන් තුළ වටිනා කොටස් මිලදී ගැනීම සඳහා වන උනන්දුව ඉහළ නැංවීමට හේතුවක් වූ බවත් එම සමාගම් සඳහන් කරයි. ඒ හේතුවෙන් දිනය නිමාවේදී දර්ශක අගයන් සුළු පමණකින් පමණක් පහත බැසීමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,634.78ත් ඒකක 7,766.63ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,742.14ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 23) දිනයට සාපේක්ෂව ඒකක 1.57ක් එනම් -0.02%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 88ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+34.39), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.45), කොමර්ෂල් බැංකුව COMB (+4.32), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (+2.61), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.85), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-17.19), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-10.65), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-8.16), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-3.22), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.88) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,029.60ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ (22දා) ‍ට සාපේක්ෂව ඒකක 3.52 ක එනම් +0.12%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.55ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (22දා) වාර්තා කළ රුපියල් බිලියන 1.94ට සාපේක්ෂව 20% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.43ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.78%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 49.83ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 79.72ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 29.89කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටත2ට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.35ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා ටයිල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 15.1 කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 29.58ක් ලෙස සටහන්ව ඇත. මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 292ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 19%කි. එසේම බැංකු සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 273ක සහ රුපියල් මිලියන 239ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 325