EXPO සහ TKYO ලාභාංශ නිවේදන ආයෝජක ආකර්ෂණයට අපොහොසත් වෙයි

අද (ජූනි 22) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දිනයේදී මෙන් මිශ්‍ර ලක්ෂණ පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම සුළු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වන NIFL සහ විශාල ප්‍රාග්ධනයක් සහිත BUKI සහ CARS යන සමාගම්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.

එසේම රටෙහි ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳව පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් බොහෝ පිරිසක් වටිනාකමින් වැඩි කොටස් හරහා ලාභ ලබා ගැනීම් වෙත යොමුවීමක් සිදු වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි. මේ අතර කොටස් වෙළෙඳ පොළෙහි ප්‍රධානම සමාගම් දෙකක් වන EXPO සහ TKYO යන සමාගම් ලාභාංශ ගෙවීම් නිවේදනය කළත් ආයෝජක ආකර්ෂණය ඒ වෙත හිමි කරගැනීමට අද දිනයේදී අපොහොසත් වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,726.73ත් ඒකක 7,757.09ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,743.71ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 22) දිනයට සාපේක්ෂව ඒකක 16.98ක් එනම් +0.22%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව හැටන් නැෂනල් බැංකුවේ නිෂ්ඡන්ද කොටස් හි සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 1.9%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 59ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 128ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+27.72), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+27.54), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+18.66), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+4.35), සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් ට්‍රස්ට් පීඑල්සී GUAR (+2.53), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-8.85), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා DIST (-6.23), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-5.96), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-3.56), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,026.08ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ (21දා) ‍ට සාපේක්ෂව ඒකක 38.37 ක එනම් -1.25%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.94ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (21දා) වාර්තා කළ රුපියල් බිලියන 1.95ට සාපේක්ෂව 0.9% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.43ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.81%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 7.44ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 240.74ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 233.3කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.32ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.49 කි. එසේම බුකිට් ඩරාහ් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 84.04ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 435ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 22%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 362ක සහ රුපියල් මිලියන 287ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 497