ලාෆ්ස් සහ ලිට්‍රෝ මෙහෙයුම් කිහිපයක් මාස 06කට ඒකාබද්ධ කෙරේ

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ලාෆ්ස් ගෑස් සමාගම මගින් සිදුකරන LP ගෑස් ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම යන මෙහෙයුම් ඉදිරියේදී ඒකාබද්ධව සිදු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කර ඇතැයි රජය පවසයි.

අද පෙරවරුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළීබඳව අනාවරණය කෙරිණි. ඒ අනුව මෙම මෙහෙයුම්සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීමට යෝජනා වී ඇත.

ශ්‍රී ලංකාවේ LP ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ මෙම නිර්දේශය ඉදිරිපත්ව තිබෙන බව රජය පවසයි. “මෙලෙස LP ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබා ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකාරක සභාවක් පත් කිරීම පිණිස 2021 ජුනි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.” කැබිනට් තීරණයේ සඳහන්ව තිබේ.

ඒ අනුව, මෙරට ගෑස් කර්මාන්තයේ නිරත සමාගම්වල නියෝජිතයින්ගේ, අදාළ රාජ්‍ය ආයතනවල හා බැංකුවල නියෝජිතයින්ගේ සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවලදී එකඟ වූ කරුණු මත පදනම්ව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493/-ක මිලට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළෙඳපොළේ අලෙවි කිරීම සිදු කළ යුතු බව තීරණය වී ඇත.

එසේම ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීමට තීරණය වී තිබේ.

ඊට අමතරව රටට අවශ්‍ය LP ගෑස් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ද ඇතුළත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් තීරණයවී තිබේ.

මේ අතර මෙම අනුකාරක සභාව විසින් නිර්දේශිත ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය මත යෝග්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් රජය වැඩිදුරටත් පවසයි.

Visits: 221