2020 ආරම්භයේදී රජයට අයත් සමස්ත මෝටර් වාහන සංඛ්‍යාව 82,194ක්

රජයට අයත් සමස්ත මෝටර් වාහන සංඛ්‍යාව 2019 දෙසැම්බර්31 වැනිදා වනවිට 82,194ක් ලෙස සටහන්ව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගියදා නිකුත් කෙරුණු එම අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව තුළ මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව SUV රථ 5,084ක්, මෝටර් කාර් 7,657ක්, ඩබල් කැබ් රථ 7,968ක්, වෑන් රථ 3,341ක්, සිංගල් කැබ්/ද්විත්ව කාර්යය රථ 6,827ක්, බස් රථ 8,394ක්, කෘ කැබ් රථ 157ක්, මෝටර් ලොරි 5,698ක්, ට්‍රැක්ටර් 8,497ක් සහ වෙනත් වාහන 28,571ක් ලෙස මෙම වාහන වර්ග කෙරී ඇත.

මෙම වාර්තාවට අනුව 2019 වර්ෂය අවසන් වනවිට මෙම වාහන අතරින් 76,661ක් ධාවන තත්ත්වයේ පැවතී තිබේ. එසේම 2020 අගෝස්තු 31 වැනිදා වන විට හඳුනාගත් ආකාරයට අපහරණය කළ යුතු මෝටර් රථ 5,588ක් හා අලුත්වැඩියා කළ යුතු මෝටර් වාහන 4,116ක් පවතින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම වාහන 82,194 අතරින් වාහන 15,307ක්  වසර 0-5ත් අතර පැරණි ඒවා වෙයි. එසේම වාහන 19,466ක් වසර 6ත් 10ත් අතර පැරණි ඒවාය. එසේම තවත් වාහන 36,583ක් වසර 10කට වඩා පැරණි ඒවා වෙයි. මීට අමතරව ලියාපදිංචි වසර සඳහන් නොකරන ලද වාහන 10,838ක්ද රජය සතු වාහන ලැයිස්තුවේ ඇත.

මේ අතර 2020 දී රජය විසින් මෝටර් වාහන මිලදී ගැනීමක් සිදු කර නැතැයිද මෙම වාර්තාව පවසයි. එහෙත් රජය විසින් ක්‍රියාත්මක කරන ලද කි.මී.100,000 මාර්ග ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග හා වාරිමාර්ග ව්‍යාපෘති ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලයීමට උපයෝගීතා වාහන මිලදී ගැනීමක් සිදු කර තිබේ.

එසේම රජයේ වියදම් කළමනාකරණ ප්‍රතිපත්තියට සමගාමීව, නව අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරීන් සඳහා අවශ්‍ය මෝටර් වාහන ලබාදීම පැවැති මෝටර් වාහන තුළින් කළමනාකරණය කර අතිරේක වියදමක් රහිතව සිදු කර ඇතැයිද මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

Visits: 94