ස්වීඩනයේ Tundra Fund වින්ඩ්ෆෝර්ස්හි කොටස් හිමිකම දෙගුණයක් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ඉතාමත් මෑතකදී ලැයිස්තුගත වුණු මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම වන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ්හි 2.5%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට ස්වීඩනයේ තුන්ද්‍රා අරමුදල (Tundra Fund) ඊයේ පියවර ගෙන ඇතැයි වාර්තා පවසයි.

මෙහිදී රුපියල් මිලියන 600කට වඩා වැඩි මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙම අවස්ථාව වනවිටත් තුන්ද්‍රා අරමුදල සතුව වින්ඩ්ෆෝර්ස් සමාගමේ 3%ක කොටස් ප්‍රතිශතයක් හිමිව තිබී ඇත. ඒ අනුව එම අරමුදල සතු වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගමේ කොටස් ප්‍රතිශතය 5.5%ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

මෙහිදී ස්වීඩනයේ පිහිටි ගෝලීය වත්කම් කළමනාකරණ සමාගමක් වන Tundra Fonder’s හි Tundra Sustainable Frontier Fund අරමුදල මගින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

මේ තත්ත්වයත් සමගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළදී වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් හි කොටස් මිලියන 106.5ක් ගනුදෙනු වී ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.94කි. එසේම එය දිනයේ පිරිවැටුම සඳහා 49%ක දායකත්වයක් ලබා දී තිබේ.

මෙම ගනුදෙනුවත් සමගින්ම වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සතු විදේශ රැඳවුම් ප්‍රමාණය කොටස් මිලියන 33.8ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම සමාගමේ ප්‍රධානතම කොටස්හිමිකරුවන් සහ සම නිර්මාතෘවරුන් වන අක්බාර් බ්‍රදර්ස් සහ හයිඩ්‍රාමනී සමූහයත් ඊයේ දිනයේදී තවදුරටත් එහි කොටස් මිලදී ගැනීමක් සිදු කර තිබේ.

ඒ අතරින් පසුගිය අඟහරුවාදා දිනයේදී අක්බාර් බ්‍රදර්ස් සමාගම කොටසක් රුපියල් 19ක් බැගින් කොටස් මිලියන 2.4ක් මිලදී ගැනීමක්ද සිදු කර තිබේ.

පසුගිය මාර්තු 31 වැනිදා වනවිට වින්ඩ්ෆෝර්ස් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 38.85%ක් අක්බාර් බ්‍රදර්ස් සමාගමටත්, 24.32%ක් හයිද්‍රාමනී සමූහයටත් හිමිව තිබුණි.

මේ අතර ඊයේ දිනයේදී සිදු වුණු වින්ඩ්ෆෝර්ස් කොටස් අලෙවිය සිදු කර ඇත්තේ එහි මුල් කොටස් හිමිකරුවෙකු වන ස්ටාර් පැක් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් මගින් බව ඩේලි එෆ්ටී පුවත්පත පවසයි. පසුගිය මාර්තු 31 වැනිදා වනවිට එම සමාගම සතුව වින්ඩ්ෆෝර්ස්හි තිබූ කොටස් ප්‍රමාණය මිලියන 107.4ක් වූ අතර එය 9.36%ක ප්‍රතිශතයකි.

ඊයේ දිනයේ නිමාවේදී වින්ඩ්ෆෝර්ස් කොටසක වටිනාකම රුපියල් 18.80ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ශත 20ක අඩුවීමකි.

පසුගිය මාර්තු මාසයේදී වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම මූලික කොටස් නිකුතුව සිදු කළ අතර එහිදී කොටසක් රුපියල් 16ක් බැගින් අලෙවි විය. මෙම නිකුතුවේදී කොටස් මිලියන 202.6ක් අලෙවි වූ අතර, එහි වටිනාකම රුපියල් බිලියන 3.2ක් විය. එය 2011 වසරෙන් පසුව කොළඹ කොටස් හුවාමරුව තුළ සිදුවුණු විශාලතම මූලික කොටස් නිකුතුවද වෙයි.

මේ අතර මෙම මාසය මුලදී වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා 2022 මූල්‍යවර්ෂය වෙනුවෙන් සිදු කරන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස කොටසකට රුපියල් ශත 75 බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 1.03කි.

Visits: 499