එමිරේට්ස් සමූහය‍ට 2020-21 මූල්‍ය වසරේදී ඩො.බිලියන 6ක පාඩුවක්

එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ.

එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් අවසන් වන මුල්‍ය වසර තුළදී එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 22.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.0) ක පාඩුවක් ලබා තිබෙන බවත් එයට පෙර වසරේදී සමූහය ඩිරාම් බිලියන 1.7 ක (ඇමරිකානු ඩොලර් මිලියන 456 ක) ලාභයක් වාර්තා කර තිබූ බවයි.

සලකා බලන මූල්‍ය වසරේදී එමිරේට්ස් සමූහයේ ආදායම් පෙර වසරට සාපේක්ෂව 66% කින් පහත වැටී ඩිරාම් බිලියන 35.6 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 9.7 ක්) වී ඇත.

මෙම තත්ත්වය තුළ සමූහයේ මුදල් ශේෂය පෙර වසරට සාපේක්ෂව 23% කින් පහත වැටී ඩිරාම් බිලියන 19.8 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක්) වී තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා විවිධ ව්‍යාපාර වලට සිදුවූ අයහපත් බලපෑම සහ සමූහයේ ප‍්‍රධාන ව්‍යාපාරික අංශ සහ වෙළෙඳපොළවල් වලට තිබූ සංචාරක සීමාවන් මෙම තත්ත්වයට හේතුවී ඇත.   

මෙම ගිණුම් වාර්තා පිළිබඳව එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා අදහස් දක්වමින් ‘කොවිඞ්-19 වසංගතය නිසා මිනිස් ජීවිත වලට, ප‍්‍රජාවන්ට, ආර්ථිකයන්ට මෙන්ම සිවිල් ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙනවා. 2021 මුදල් වසර තුළදී රටවල් විසින් පැනවූ සංචාරක සීමාවන් නිසා ජාත්‍යන්තර සංචාරක ගමන් බිමන්වල සිදුවූ දැවැන්ත කඩා වැටීම හේතුවෙන් එමිරේට්ස් සහ dnata සමාගම් වලට දැඩි බලපෑමක් එල්ල වුණා.’ යනුවෙන් පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා ‘අපගේ සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය සහ පැවැත්ම මෙන්ම මුදල් ආරක්ෂා කර ගනිමින් පිරිවැය පාලනය කර ගැනීම මේ වසර පුරාම අපගේ ප‍්‍රමුඛ කාර්ය භාරය වුණා. එසේම, අපගේ මෙහෙයුම් කටයුතු ආරක්ෂාකාරීව මෙන්ම තිරසාරව යළිත් ආරම්භ කිරීමට අපි කැපවුණා. අපගේ ප‍්‍රධානතම කොටස්කරුවා වන ඩුබායි රජයෙන් එමිරේට්ස් සමූහයට ඩිරාම් බිලියන 11.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක) ප‍්‍රාග්ධනයක් පසුගිය කාලයේදී ලැබුණා. එසේම, dnata සමාගමත් විවිධ සහන වැඩසටහන් දෙසට නැඹුරුවී 2020-21 මුල්‍ය වසර තුළදී  ඩිරාම් මිලියන 800 ක පමණ සහන ලබා තිබෙනවා. මෙම මුදල් අපගේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් අපගේ දක්ෂ කාර්ය මණ්ඩලය රඳවා ගැනීමටත් උපකාරී වී තිබෙනවා. කෙසේවෙතත්, අඩුවූ මෙහෙයුම් කටයුතු වලට සාපේක්ෂව කාර්ය මණ්ඩලය සකස් කිරීමේ අපහසු තීන්දුව අපට ගැනීමට සිදුවුණා.’   යනුවෙන්ද පවසා තිබේ.

Visits: 62