2020 දී මිල්කෝ සමාගමට රු. මිලියන 417ක බදු පෙර ලාභයක්

මිල්කෝ සමාගම පසුගිය 2020 වසරේදී හිමි කරගෙන ඇති බදු පෙර ලාභය රුපියල් මිලියන 417ක් බව එම සමාගම පවසයි. එය 2017 වසරේ සිට 2019 වසර දක්වාම මිල්කෝ සමාගම හිමිකරගත් දැවැන්ත අලාභ හා සැසඳීමේදී එහි ලාභයේ කැපී පෙනෙන වර්ධනයක් බවට පත්ව තිබේ.

පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු 2020 වසර සඳහා වන මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවෙහි මිල්කෝ සමාගමෙහි මූල්‍ය තත්ත්වය තුළ මේ බව සඳහන්ව ඇත. මිල්කෝ සමාගම සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත අනුව මෙම මූල්‍ය තත්ත්වය පිළිබඳව සටහන ඉදිරිපත්ව ඇත.

විශේෂයෙන්ම රජයට අයත් ව්‍යවසායක් වන මිල්කෝ සමාගම 2017 වසරේ සිට 2019 දක්වා පිළිවෙලින් වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 606ක, රුපියල් මිලියන 606 ක සහ රුපියල් මිලියන 619ක බදු පෙර අලාභයකි.

මෙම මූල්‍ය වාර්තාවේ සඳහන් අන්දමට මිල්කෝ සමාගම 2020 වසරේදී රැස් කරගෙන ඇති ආදායම රුපියල් මිලියන 11,114 කි. එය 2019 දී රැස් කරගත් රුපියල් මිලියන 10,373ක ආදායමට සාපේක්ෂව 6.6% ක වර්ධනයකි. මෙහිදී කිරි නිෂ්පාදන විකුණුම් හරහා රුපියල් මිලියන 11,047ක් රැස් කරගෙන ඇති අතර වෙනත් ආදායම් හරහා රුපියල් මිලියන 66ක් රැස් කරගෙන ඇත.

“වෙළෙඳ පොළේ පැවැති ඉහළ ඉල්ලුම හේතුවෙන් මෙම වසරේ හයිලන්ඩ් කිරිපිටි අලෙවිය 2019 වසරට සාපේක්ෂව 38%කින් ඉහළ ගොස් තිබේ.” සමාගම පවසයි.

මෙහිදී මිල්කෝ සමාගම මගින් පසුගිය 2020 වසරේදී එකතු කරගෙන ඇති කිරි ලීටර් ප්‍රමාණය මිලියන 67 කි. එසේම සමාගම කොටසක් සඳහා ඉපැයීම් පසුගිය වසරේදී රුපියල් 13.06ක් ලෙස සටහන්ව ඇති අතර, 2019 දී එය රුපියල් -19.37ක් විය.

මේ අතර 2020 වසරේදී මිල්කෝ සමාගමේ වියදම් රුපියල් මිලියන 10,697ක් ලෙස සටහන්ව ඇත. එය 2019 දී සමාගමේ වියදම් ප්‍රමාණය වූ රුපියල් මිලියන 10,992 ට සාපේක්ෂව 2.6%ක අඩු වීමකි.

එසේම 2020 වසර අවසන් වන විට මිල්කෝ සමාගම මගින් බැංකු සඳහා නොපියවූ ණයවල වටිනාකම රුපියල් මිලියන 753ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ. මෙම වාර්තාවට අනුව 2017 වසරේ සිට 2019 දක්වා පිළිවෙලින් එම ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,418ක්, 1613ක් දම 1,272ක් ලෙස සටහන්ව තිබී ඇත.

“බැංකු ණය ප්‍රමාණය රුපියල් මිලියන 753ක් දක්වා සැලකිය යුතු පහළ යාම තුළින් සහ ඍජුව වියදම් 2.6%කින් පහළ යාම තුළින් 2020 වර්ෂයේදී සමාගමට සිය ශුද්ධ වත්කම් තත්ත්වය ශක්තිමත් කිරීමට හැකියාව ලැබී තිබේ.” මිල්කෝ සමාගම පවසයි.

Visits: 280

Leave a Reply

Your email address will not be published. Required fields are marked *