මයික්‍රොසොෆ්ට්හි නව සභාපතිවරයා ලෙස සත්‍යා නඩෙල්ලා නම් කෙරේ

ලොව සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ සත්‍යා නඩෙල්ලා පත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි.

මෙතෙක් කලක් එම ධුරය දැරූ ජෝන් තොම්ප්සන් ඉන් ඉවත්වීමත් සමගින්ම නඩෙල්ලා මෙම ධුරය වෙත පත් කර තිබේ. ඉන්දියානු සම්භවයක් සහිත නඩෙල්ලා මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් වූයේ 2014 වසරේදීය. ඒ එතෙක් එම ධුරය දැරූ ස්ටීව් බැල්මර් ඉන් ඉවත් වීමත් සමගිනි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා වන බිල්ගේට්ස් 2014 වසරේදී එහි සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඊට පත්වන දෙවැනි සභාපතිවරයා වන්නේද නඩෙල්ලාය. බිල්ගේට්ස්ට පසුව එම ධුරය දැරූ ජෝන් තොම්ප්සන් ඉදිරියේදී සමාගමේ ප්‍රධාන ස්වාධීන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බවත් පැවසෙයි.

මේ අතර මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පසුගිය 2020 වසරේදී එහි අධ්‍යක්ෂ මණ්ඩල ධූරයෙන්ද ඉවත් වීමෙන් අනතුරුව මෙලෙස එහි ඉහළ මට්ටමේ විධායක ධුරයන්හි වෙනස්වීම් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

බිල්ගේට්ස් සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉංජිනේරුවරියක අතර පැවති බව කියැවුණු අනියම් සබඳතාවක් පිළිබඳ සිදුකළ අභ්‍යන්තර පරීක්ෂාවක් හේතුවෙන් බිල්ගේට්ස් වෙත එම ධුරයෙන් ඉවත්වීමට සිදු වූ බවත් සඳහන්ව තිබුණී.

Visits: 122