සිංගර් ෆිනෑන්ස් රු. බිලියන 2ක් වටිනා ණයකර කොටස් නිකුතුව ජූනි 18 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම මගින් සිදු කිරීමට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 2ක් වටිනා ණයකර කොටස් නිකුතුව ලබන ජූනි 18 වැනිදා විවෘත කරන බව එම සමාගම දැනුම් දෙයි.

මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් ඉල්ලුම් කරමින් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ අයදුම්පත්‍රය අනුමත වීමත් සමගින්ම මෙලෙස එම දිනය ප්‍රකාශයට පත් කෙරී ඇත. 

ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරැකුම් රහිත, අප්‍රධාන, පිරිමුදවිය හැකි ණයකර මිලියන 20ක් (20,000,000ක්) මෙහිදී නිකුත් කරන බව සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. එහිදී එක් ණයකරයක වටිනාකම රුපියල් 100ක් වන අතර සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2ක් ලෙසත් ගණන් බලා තිබේ.

මෙහිදී පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 10ක්නිකුත් කිරීමක් සිදු කරයි. එය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරැකුම් රහිත, අප්‍රධාන, වසර පහකදී (2021-2026) පිරිමුදවිය හැකි ණයකර කොටස් ලෙස නිකුත් කෙරේ. එහිදී එක් ණයකරයක් රුපියල් 100ක වටිනාකමක් ගන්නා අතර පළමු නිකුතුවේ වටිනාකම රුපියල් බිලියනයක් වෙයි.

මේ ණයකර කොටස් සඳහා හිමිවන අධිඉල්ලුමත් සමගින්ම දෙවැනි නිකුතුවක්ද සිදු කරන බවත්, එයද පෙර පරිදිම රුපියල් 100ක් බැගින් වූ ණයකර කොටස් මිලියන 10ක් වන බවත් පැවසෙයි. ඒ අනුව මෙම නිකුතු දෙකෙහිම වටිනාකම රුපියල් බිලියන 2කි.

මෙහිදී මෙම ණයකර නිකුතුව Type A සහ Type B ලෙස කාණ්ඩ කර ඇති අතර, ඉන් Type A ණයකර සඳහා  ස්ථාවර වාර්ෂික පොළී අනුපාතය 9.25%ක් ලෙස සටහන්ව තිබේ. එසේම Type B නිකුතුව සඳහා වසරක බාණ්ඩාගාර බිල්පත් අනුපාතයක් සහ 3.75%ක වාර්ෂික පොලී අනුපාතයක් සහිතව ප්ලාවිත පොලී අනුපාතයක් යටතේ නිකුත් කෙරේ. මෙහිදී එම මුදල් වාර්ෂිකව ගෙවීමේ හැකියාවද පවතී.   

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් ලෙස මහ බැංකුව විසින් ලබා දී ඇති නිර්දේශ අනුව 2021 වසර අවසන්වීමට පෙරාතුව පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම උදෙසා සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම මෙලෙස ණයකර නිකුතුවක් හරහා සිය අරමුදල් රැස් කරගැනීමට යොමුව තිබෙන බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

Visits: 233