LOLC සමූහය අවසන් පැයේදී සියලු කොටස් මිල දර්ශකය ශක්තිමත් කරයි

අද (ජූනි 15) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් වාෂ්පශීලී ස්වාභාවයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී ප්‍රකාශ කෙරුණු මෙල්ස්ටාකෝර්ප් සමාගමේ ලාභාංශ ගෙවීම් නිසා ඒ සඳහා වන ආකර්ෂණය ඉහළ යාමක් සිදුව ඇත.

එසේම LOLC සහ එම සමූහයට සමාගම්වල කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමගින්ම දිනයේ අවසන් පැයේදී සියලු කොටස් මිල දර්ශකය වඩාත් ශක්තිමත් අගයකට පත් වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,583.15ත් ඒකක 7,622.13ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,605.53ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 14) දිනයට සාපේක්ෂව ඒකක 23.26ක් එනම් +0.31%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 75ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 94ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී LOLC (+15.83), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+5.48), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+5.0), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+4.32), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.25), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.16), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.98), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.45), වැලිබල් වන් පීඑල්සී VONE (-2.06), සම්පත් බැංකුව SAMP (-2.15) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,051.52ක අගයක් ගත් අතර, එය ඊයේ (14දා) ‍ට සාපේක්ෂව ඒකක 3.42 ක එනම් -0.11%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.75ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊටේ (14දා) වාර්තා කළ රුපියල් බිලියන 1.36ට සාපේක්ෂව 28% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.37ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.74%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 41.03ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 42.98ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 1.95කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සෙලාන් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.0 කි. එසේම එල්ඕඑල්සී පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 11.91ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 597ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 34%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය සහ ආහාර පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 279ක සහ රුපියල් මිලියන 268ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 239