මන්නාරම සුළං බලාගාර කොන්ත්‍රාත්තුව Windforce සමාගමේ හිරුරැස් පවර් වෙත

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ග්‍රිඩ් උප පොළ පහක් සඳහා මෙගාවොට් 60ක සුළං බල ධාරිතාවක් එක් කිරීම යටතේ මන්නාරම ග්‍රිඩ් උප පොළේ සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව හිරුරැස් පවර් (පෞද්) සමාගම වෙත ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මේපිළිබඳව අනාවරණය කෙරිණි. අදාළ කොන්ත්‍රාත්තුව හිරුරැස් පවර් (පෞද්) සමාගම වෙත ප්‍රදානය කිරීමේ යෝජනාව විදුලි බල ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

විසි අවුරුදු මෙහෙයුම් කාලසීමාවක් සඳහා ගොඩනැගීම, අයිතිකර ගැනීම, මෙහෙයවීම යන පදනම මත මෙම මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදි කෙරේ.

මෙම ඉදිකිරීම් සමාගම වන හිරුරැස් පවර් (පෞද්) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගමට අයත් සමාගමකි. මෙම මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් මගින් මෙම සමාගම පිහිටුවා තිබේ.

වින්ඩ්ෆෝස් ලිමිටඩ් වෙබ් අඩවියේ සඳහන් ආකාරයට මෙහිදී මන්නාරමි දිස්ත්‍රික්කය තුළ සුළං විදුලිබලාගාර දෙකක් ඉදිකිරීමට යෝජනා වී ඇත. ඉන් එකක් මෙගාවොට් 10ක ධාරිතාවකින්ද අනෙක මෙගාවොට් 5ක ධාරිතාවකින්ද යුක්ත වෙයි.

මෙහිදී දැනටමත් වින්ඩ්ෆෝර්ස් සමාගම වෙත අදාළ ව්‍යාපෘතිය පිරිනමා ඇති බවත්, බලධාරීන්ගේ අවසන් අනුමැතිය ලැබීමට නියමිතව ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

2021 වසරේ අගභාගයේදී ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය වසර 2022 අගදී නිමා කිරිම සැලසුම වී ඇත. එහිදී අදාළ බලාගාරය සඳහා වන ඉඩම ශ්‍රී ලංකා රජය මගින් වසර 30ක කල්බදු පදනම මත ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

කැබිනට් නිවේදනයේ සඳහන් අන්දමට මන්නාරමට අමතරව ත්‍රිකුණාමලය, මාදම්පේ, බෝලවත්ත සහ කප්පල්තුරේ යන ස්ථානවල පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් ග්‍රිඩ් උපපොළ හතරක් සඳහාද සුළං විදුලිබලාගාර ඉදිකිරිම සැලසුම වී ඇත.

Visits: 426