බංග්ලාදේශය සමග වරණීය වෙළෙඳ ගිවිසුමකට (PTA) සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වරණීය වෙළෙඳ ගිවිසුමකට (Preferential Trade Agreement) පිවිසීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීමට තීරණය කර ඇතැයි රජය පවසයි. අද පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ කරුණු අනාවරණය කෙරිණි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා‍ව හා බංග්ලාදේශය යන රටවල් දෙක අතර මේ වනවිට විශේෂ විධිවිධාන යටතේ වෙළෙඳ ගිවිසුම් කිහිපයක්ම පැවතියත් දෙරට අතර පවතින වෙළෙඳාම අවම මට්ටමක පවතින බව රජය පවසයි.

අද වනවිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සාර්ක් වරණීය වෙළෙඳ විධිවිධාන ගිවිසුම (SAPTA), දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම (SAFTA), ගෝලීය වෙළෙඳ වරණ ක්‍රමය (GSTP), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) සහ යෝජිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල ප්‍රවේශය (BIMSTEC) යන ගිවිසුම්වල පාර්ශ්වකාර සාමාජික රාජ්‍යයන් වශයෙන් කටයුතු කරනු ලබයි.

ඒ අනුව අගමැතිවරයා පසුගිය මාර්තු මස බංග්ලාදේශයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා යෝජනා කළ නිදහස් වෙළෙඳ ගිවිසුමකට කඩිනමින් එළඹීමේ අවශ්‍යතාව දෙරටේ නායකයින් විසින් පිළිගෙන ඇතැයි සඳහන් වෙයි.

එහිදී මුල් පියවර වශයෙන් කෙටි භාණ්ඩ ලැයිස්තුවක් සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ හැකියාව සොයා බැලීමට ද එකඟතාව පළ වී තිබේ.

ඒ අනුව, බංග්ලාදේශය සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් එරටේ අදාළ බලධාරින් සමඟ සාකච්ඡා පැවත්වීම පිණිස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

Visits: 129