ආසිආටා සමූහය සහ ටෙලෙනෝර් අතර ඒකාබද්ධවීම ස්ථිර වෙයි

මැලේසියාවේ ආසිආටා සමූහය නෝර්වේහි ටෙලෙනෝර් සමාගම සමගින් ඒකාබද්ධ කිරීමට අදාළ එකඟතාව ඉදිරි දින හෝ සති කිහිපයේදී අත්සන් තැබෙනු ඇතැයි ආසිආටා ගෘප් බීඑච්ඩී සමාගම පවසයි.

මැලේසියාව තුළ සිදු කෙරෙන මෙහෙයුම් සඳහා මෙලෙස සමාගම් දෙක ඒකාබද්ධ කෙරෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන්ව තිබේ.

මෙම ඒකාබද්ධවීමත් සමගින්ම ආසිආටා සමූහයේ කොටස්හිමිකරුවන් තුළ කැපී පෙනෙන පිබිදීමක් දැකගත හැකි වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මේ වසරේ අප්‍රේල් මාසයේදී සමාගම් දෙකම මෙම ඒකාබද්ධවීම සම්බන්ධයෙන් පළමුවරට අනාවරණය කර තිබුණි. එහිදී ආසිආටා සමූහයට අයත් Celcom Networks Bhd සහ ටෙලෙනොර් සමාගමට අයත් Digi.com Bhd යන සමාගම් ඒකාබද්ධ කෙරෙනු ඇතැයි සඳහන් විය.

ඒ අනුව ඉදිරියේදී Celcom Digi Bhd ලෙස සමාගමක් පිහිටුවෙනු ඇති බවත්, එහි කොටස් හිමිකාරීත්වයෙන් 33.1ක් බැගින් සමාගම් දෙක වෙත සමසමව බෙදෙනු ඇති බවත් සඳහන් වී තිබුණි.

මෙලෙස ආසිආටා සමූහය සහ ටෙලෙනෝර් සමාගම අතර ඒකාබද්ධවීම රට තුළ 5G අන්තර්ජාල සබඳතා ගොඩනැගීම සහ කළමනාකරණය සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය තීරණයට දායක කරගැනීමේ අරමුණින් සිදුවන්නක් බවද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබුණි.

Visits: 495