ගනුදෙනු දින 12කට පසුව අඩුම පිරිවැටුම වාර්තා කරයි

අද (ජූනි 14) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනු ආරම්භයේදී සාර්ථකත්වයක් පෙන්නුම් කළද, රටෙහි පවතින අඩු ඩොලර් සංචිත ඇතුළු අයපත් ආර්ථික තත්ත්වයන් හේතුවෙන් දිනයේ පසු අවස්ථාවේදී එම සාර්ථකත්වයේ කැපී පෙනෙන පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් නිෂ්පාදන අංශයේ සමාගම් තුළ පැවැති මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් එලෙසින්ම පැවැතී තිබේ. එසේම ඉන්ධන මිල ඉහළ යාම නිසා ලංකා අයිඕසී කොටස් මිලද, ඉදිරියේදී ගෑස් මිල ඉහළ යාමේ හැකියාවක් නිසා ලාෆ්ස් ගෑස් ලංකා සමාගමේ කොටස් මිලද ඉහළ යාමක් සිදුව ඇත.

එසේම විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාම යම් තරමකින් හෝ වෙළෙඳ පොළ ආරක්ෂා කර ගැනීමට හේතුව වී තිබේ.  මේ අතර අද දිනයේ වාර්තා කළ පිරිවැටුම වෙළෙඳ පොළ ගනුදෙනු දින 12ක් ඇතුළතදී වාර්තා කළ අඩුම අගය බවටත් පත්ව ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,551.91ත් ඒකක 7,625.85ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,582.27ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූනි 11) දිනයට සාපේක්ෂව ඒකක 28.03ක් එනම් -0.37%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි සිදු වූ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් 1.9%ක දායකත්වයක් ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 50ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 104ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලංකා අයිඕසී පීඑල්සී LIOC (+3.01), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.11), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+2.08), ලාෆ්ස් ගෑස් ලංකා පීඑල්සී LGL (+1.44), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+0.95), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.7), වැලිබල් වන් පීඑල්සී VONE (-3.34), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25), කොමර්ෂල් බැංකුව COMB (-2.29), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.15) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,054.94ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (11දා) ‍ට සාපේක්ෂව ඒකක 12.09 ක එනම් -0.39%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.36ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (11දා) වාර්තා කළ රුපියල් බිලියන 2.28ට සාපේක්ෂව 40% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.36ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.40%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 46.39ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 102.6ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 56.22කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.51ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.81 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 70.83ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 333ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය සහ බැංකු අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 294ක සහ රුපියල් මිලියන 153ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 239