හැරීගේ DCSL ලාභාංශ ගෙවීම ශත 70යිලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (DIST.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත් වුණූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 70ක් බැගින් ලාභාංශ ගෙවන බව DCSL සමාගම පවසයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 22 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදි කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 21.10ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ 21.30ට සාපේක්ෂව ශත 20ක අඩුවීමකි.

ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් වෙයි. එම සමාගම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීද ලාභාංශ ගෙවීමක් සිදුකර ඇති අතර, එය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම වී තිබේ. එහිදී කොටසකට ශත 42 බැගින් ලාභාංශ ගෙවා ඇත.

Visits: 279