රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතාව හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය තත්ත්වයට පත්කිරීමට වහා කටයුතු කරන ලෙස ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නියෝග ලබා දුන් බව අගමැති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති අතර ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට අය වී නොමැති බව මෙහිදී අණාවරණය වී ඇත.

ඒ අතරින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහාද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීම් කර නැති බවත් ඉංජිනේරු සංස්ථා නිලධාරියෙක් මෙහි දී හෙළි කර තිබේ.

යහපාලන රජය සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබාදීම හේතුවෙන් රජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වනවිට සේවක අර්බුධයක් ද මතුව ඇති බව එම නිලධාරීන් පෙන්වා දී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුර කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජය විසින් නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු ඇණහිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ලිපට ඇද වැටුණේ යැයි නිලධාරීහු කියා සිටියහ.

පෑලියගොඩ සී සිටි ( C City ) වෙළඳ සංකීර්ණය මෙලෙස අතහැර දැමූ එක් ව්‍යාපෘතියක් පමණක් බව මෙහි දී හෙළි විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව අදාළ වෙළඳ සංකීර්ණයේ කටයුතු පසුගිය දා යළි ආරම්භ විය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කිරීමේ දී මෙතෙක් ඇණහිට තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා මාර්ගයෙන් පොදු තීන්දුවක් ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන බවත් අගමැතිවරයා මෙහි දී දැනුම් දී තිබේ.

Visits: 78