සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී ශත 35 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී (CTBL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 35ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද මෙය සටහන්ව ඇත.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 12 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 21 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අනවශ්‍ය බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පසුගිය වසරේ අගෝස්තු මාසයේදීද ලාභාංශ ගෙවීමක් සිදු කර ඇති අතර එය 2019/20 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ලෙස සටහන්ව ඇත. එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 0.08ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කර තිබේ.

Visits: 231