MBSL වෙතින් රු.බිලියන 2.2ක හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය හිමිකම් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව පවසයි.

ඊයේ දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී පැවැත්වී ඇති අතර එහිදී ඒ පිළිබඳ අවසන් තීන්දුවට පැමිණ තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගත යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම පවසයි.

දැනටමත් මෙම හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකුවේ අනුමැතියද හිමිව ඇත.

ඒ අනුව මෙහිදී මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් ඡන්ද හිමි කොටස් මිලියන 373ක් (373,217,717ක්) නිකුත් කිරීමට නියමිතව තිබේ. එම එක් කොටසක් රුපියල් 6ක් බැගින් නම් කර ඇති අතර, මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2.2ක් (2,239,306,302ක්) ලෙස ගණන් බලා තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම නිකුතුව දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් හතරක් සඳහාම අලුතින් කොටස් නවයක් හිමිවන ලෙස නිකුත් කෙරේ. එහිදී සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීම පවත්වන දිනය වනවිට සමාගමේ කොටස් හිමිකරුවන් වෙත මෙම කොටස් බෙදී යන බවත් සඳහන් වෙයි.

මේ අතර පසුගිය මැයි 31 වැනිදා වන විට මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සමස්ත ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.1ක් (2‍,124,457,307ක්) ලෙස සටහන්ව තිබේ.

ඉහත සඳහන් කළ හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමැතිය ලබා දිය යුතුව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමේදී මෙම නිකුතුව සඳහා වන කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය ලබාගන්නා බවත් මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

ලංකා බැංකුවෙහි පරිපාලිත සමාගමක් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඉන්දියාවේ SBI Capital Markets Limited සමාගම හා සම්බන්ධ සමාගමක් බවද පවසයි. සමාගමේ වර්තමාන සභාපතිවරයා වන්නේ ලංකා බැංකුවෙහි සභාපති කාංචන රත්වත්තේ මහතාය.

Visits: 203