LOLC ගෝලීය ව්‍යාප්තියේ ඊළග අවධානය පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවලටලු

මෙරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන LOLC සමූහය සිය ගෝලීය ව්‍යාප්තිය යටතේ මීළගට අවධානය යොමු කර ඇත්තේ පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රාජ්‍යයන් වෙත සිය මෙහෙයුම් දියත් කිරීම බව වාර්තාවෙයි.

දැනටමත් LOLC සමූහය අග්නිදිග ආසියාව, දකුණු ආසියාව සහ අප්‍රිකානු වෙළෙඳ පොළ වෙත පිවිස සිටින අතර එම වෙළෙඳ පොළ හරහාද ඉපැයූ ආදායම් ඔස්සේ 2020/21 මූල්‍ය වර්ෂයේදී මෙරට වඩාත් ඉහළම ලාභ ඉපැයූ සමාගම බවටත් පත්ව සිටියි. විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සැපයුම් හරහා මෙම ලාභ ඉපැයීමට සමාගමට හැකියාව ලැබී ඇත.

පසුගියදා පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කළ LOLC සමූහයේ නිලධාරියෙකු මෙම නවතම ගෝලීය ව්‍යාප්තිය පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.‍

“අපි මේ වනවිට උස්බෙකිස්තානය, ආර්මේනියාව, අසර්බයිජානය, කසකස්තානය, කිර්ගිස්තානය, මෝල්ඩෝව, ටර්ක්මෙනිස්තානය සහ ටජිකිස්තානය වැනි පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රාජ්‍යයන් හි මූල්‍යමය අවකාශයේ පවතින අවස්ථාවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරනවා.” යනුවෙන් මෙම නිලධාරියා මෙහිදී සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම මෙකී රටවල ආර්ථික වර්ධනය සඳහා මූලිකවම එම රටවල මධ්‍යම, සුළු සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන්හි වර්ධනය දායක වන බවත් ඔහු පවසා තිබේ. එහිදී වෙළෙඳාම සහ සේවා, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය යනාදී වඩාත් වැදගත්ම ක්ෂේතු තුළ මෙම ව්‍යවසායන් ක්‍රියාත්මකව පවතින බවත් LOLC සමූහය දැනටමත් හඳුනාගෙන ඇතැයි පවසයි.

මේ අතර කාම්බෝජියාව සහ මියන්මාරයෙන් ඇරඹි LOLC හි මූල්‍ය සේවාවන් ගෙවුණු වසර හතරක කාලය තුළදී පාකිස්තානය, පිලිපීනය, ඉන්දුනීසියාව, නයිජීරියාව මෙන්ම සැම්බියාව වෙතද සාර්ථක ලෙස ව්‍යාප්ත වී තිබේ.

Visits: 498