සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී රුපියල් 2.90 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සදහාම රුපියල් 2.90 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවීම සිදු කරන දිනය ලෙස ලබන ජූලි 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 02 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමි විය යුතුව ඇති බවත් ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 01 වැනිදා පැවැත්වෙන බවත් සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 172ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේ එහි කොටසක් සඳහා හිමිව තිබූ අගයම විය.

සී ටී හෝල්ඩිංග්ස් සමාගම පසුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේදීද රුපියල් 1.45 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කර ඇති අතර, එය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව ඇත.

සිලෝන් තියටර්ස් ලිමිටඩ් ලෙස හැඳින්වුණු සී ටී හෝල්ඩිංග්ස් පීඑල්සී අද වනවිට සිල්ලර වෙළෙඳාම, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, බෙදාහැරීම්, දේපළ වෙළෙඳාම්, විනෝදාස්වාදන, බැංකු සහ මූල්‍ය සේවා යන අංශ තුළ විවිධාංගීකරණය වී තිබේ.

Visits: 187