HNB හි CEO ජොනතන් අලස්ට සමාගම් දෙකක සභාපති ධුර 2ක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වන ලංකා වෙන්චර්ස් පීඑල්සී සහ එල්.වී.එල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී යන සමාගම් දෙකෙහි නව සභාපතිවරයා ලෙස මෙරට සුප්‍රසිද්ධ බැංකුකරුවෙකු වන ජොනතන් අලස් මහතා පත් කෙරී ඇතැයි පවසයි.

පසුගිය ජූනි 04 වැනිදා මෙම නව පත් කිරීම සිදු කෙරී තිබේ. අද වනවිට ජොනතන් අලස් මහතා හැටන් නැෂනල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි.

මෙතෙක් කලක් ලංකා වෙන්චර්ස් පීඑල්සී සමාගමේ සහ එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනන්ද ලක්ෂ්මන් සිල්වා මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස් වූ ධූරය සඳහා ජොනතන් අලස් මහතා මෙලෙස පත් වී තිබේ.

කෙසේ වෙතත් ලක්ෂ්මන් මහතා ඉදිරියටත් සමාගම්හි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද පවසයි.

නව සභාපති ධුරයට පත්වන අවස්ථාව වනවිටත් ජොනතන් අලස් මහතා එම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටියේය.

මෙම ලංකා වෙන්චර්ස් පීඑල්සී සහ එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී යන සමාගම් දෙකම Acuity Partners සමාගම හා සම්බන්ධ සමාගම් දෙකකි. ඒ අතරින් ලංකා වෙන්චර්ස් පීඑල්සීහි 79.58%ක කොටස් ප්‍රතිශතයක් Acuity Partners වෙත හිමි අතර එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සීහි 57%ක කොටස් ප්‍රතිශතයක් ලංකා වෙන්චර්ස් පීඑල්සී සමාගම වෙත හිමිව ඇත.

මෙම Acuity Partners පෞද්ගලික සමාගම මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු දෙකක් වන DFCC සහ HNB යන බැංකුවල ඒකාබද්ධතාවයෙන් පිහිටු වූවකි. අද වනවිට මෙම Acuity Partners සමාගම යටතේ තවත් පරිපාලිත සමාගම් කිහිපයක්ම පිහිටුවා තිබේ.

සාංගමික මූල්‍ය සහ උපදේශන සේවා සපයන Acuity Corporate Finance, රජයේ සුරැකුම්පත්හි ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු වන Acuity Securities Ltd, කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කාර සමාගමක් වන Acuity Stockbrokers (Pvt) Ltd, ඒකාබද්ධ ප්‍රාග්ධන සමාගමක් වන Lanka Ventures PLC. සහ සමර්පිත අරමුදල් කළමනාකරණ සමාගමක් වන Guardian Acuity Asset Management Ltd එම සමාගම් වෙයි.

වර්තමානයේදී මෙම Acuity Partners සමාගමේ සභාපතිවරයා වන්නේද ජොනතන් අලස් මහතාය.

Visits: 642