විදේශ ණය සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීමට මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග

රට තුළට ගලා එන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, පෞද්ගලික අංශයට තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදා ගනිමින් විදේශයන්ගෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අවස්ථාව සඳහා ඇරයුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙහිදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන අනුකූලව මෙම කටයුතුසිදු කෙරෙන බවත් සඳහන් වෙයි.

ඒ අනුව අක්වෙරළ ණය සඳහා විදේශ විනිමය අනුපාතය නිසා සිදුවන අවදානම ආවරණය කිරීමට ශ්‍රී ලංකාමහ බැංකුව පෞද්ගලික අංශයේ ණය ලබා ගන්නන් සඳහා ශුන්‍ය පිරිවැය හුවමාරු ගිවිසුම් පහසුකම් සැලසීමක්ද සිදු කරන බවත් පවසයි.

මෙය ණය ලබා ගන්නා කාලසීමාවට පවතින අතර, එය වාර්ෂිකව සමාලෝචනය කර අලුත් කිරීමක් සිදු කරයි.

එසේම විදේශයන්ගෙන් රැස් කරන ලද එක්සත් ජනපද ඩොලර් අරමුදල්, ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කරතුළ ආයෝජනය කිරීමේ අවස්ථාවද ඇත.

මීට අමතරව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවෙහි සංස්ථාපනය කරන ලද සමාගම්වලට නේවාසික නොවන පුද්ගලයන්ගෙන්/පුද්ගලයන්ට ණය ලබා ගැනීමට/ණය උපකරණ නිකුත් කිරීමටද අවසර ලබා දී ඇත.

මේ අතර විදේශයන්ගෙන් ණය ලබා ගන්නා පෞද්ගලික අංශයේ සමාගම්වලට එම ණය මුදල් ශ්‍රී ලංකාවෙහි ඔවුන්ගේ පාලිත සමාගම්වලට උප ණය ලෙස ප්‍රදානය කළ හැකි බවද මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම සංස්ථාපිත සමාගමකට www.dfe.lk/downloads හරහා රජයේ (අතිවිශේෂ) ගැසට් නිවේදනවල පළ කරන ලද අදාළ සියලුම නියෝග සහ නියමයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව පවතී.

ඒ අතරම දැනට පවතින විදේශ විනිමය නියෝග සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා එම සමාගම්වල බැංකුකරු හෝ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විමසිය හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 134