නුගේගොඩ සුපර් මාර්කට් භූමිය සංවර්ධනයටත් ආයෝජකයෙකු සොයයි

නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටි නුගේගොඩ මහා වෙළෙඳ සැල (Super market) ඇතුළත් පොදු වෙළෙඳ පොළ භූමියෙහි ඉහළට ඉදිවන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන අවස්ථාවක් පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඊයේ (07දා) ආරම්භ වුණු ඉන්වෙස්ට් ශ්‍රී ලංකා 2021 ආයෝජක සමුළුව සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජක අවස්ථාවන් යටතේ යටිතලපහසුකම් කොටස තුළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිරිපත් කර ඇති ආයෝජන අවස්ථාවක් ලෙස මෙය සටහන්ව තිබේ.

ඒ අනුව 1970 දශකයේ අගභාගයේදී පමණ ඉදි කෙරුණු මෙම නුගේගොඩ පොදු වෙළෙඳ පොළ පරිශ්‍රය, සාප්පු සංකීර්ණ ඇතුළත් ගොඩනැගිල්ල, බස් නැවතුම් පොළ, ජනතා පොළ සහ විවෘත වේදිකාව යනාදී ගොඩනැගිලි වෙනුවට මෙම නව ඉදිකිරීම සඳහා අවස්ථාව ලබා දීම සැලසුම වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට අද වනවිට මෙම ඉදිකිරීම් සියල්ලම ගරාවැටුණු තත්ත්වයට පත්ව තිබේ. එහෙත් මෙම ඉඩම ඉතාමත් ඉහළ සහ උසස් මට්ටමේ සංවර්ධන හැකියාවක් සහිත භූමියක් ලෙස එම අධිකාරිය මගින් හඳුනාගෙන ඇතැයි පවසයි.

වර්ග මීටර් 9,373ක විශාලත්වයකින් යුත් මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වන්නකි. මෙම භූමියේ දළ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 110ක් ලෙසද ගණන් බලා ඇත.

විශේෂයෙන්ම මෙම භූමිය එක් පසකින් ස්ටැන්ලි තිලරත්න මාවතට සහ පැරණි කැස්බෑව පාරටත් මුහුණා පිහිටි සුවිශේෂී ඉඩමකි. ඒ අනුව දැනට මෙහි පවතින ඉහත සඳහන් කළ මහජන සුවපහසුකම් වෙනත් ස්ථානයක පිහිටුවීමේ කොන්දේසිය මත මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජකයන්ට ආරාධනා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙහිදී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් හෝ ඒකාබද්ධ එකඟතාවක් යටතේ මෙම ඉදිකිරීම් සඳහා යොමුවීමේ හැකියාව ඇතැයි එම අධිකාරිය පවසයි. 2023/2024 කාලසීමාවේදී ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ 1000ත් 2000ත් අතර පිරිසකට රැකියා අවස්ථාව හිමිවන බවත් පැවසෙයි.

මෙම ව්‍යාපෘතිය ආයෝජනයට ඉදිරිපත්වන සමාගම වෙත ලැබෙන ප්‍රතිලාභ ලෙස රජයේ බදු සහන, නාගරික සංවර්ධන අධිකාරියේ සහායද සමගින් ඉක්මන් අනුමත කිරීමේ කටයුතු, දැනටමත් පරිශ්‍රය වෙත ලබා දී ඇති මූලික යටිතල පහසුකම් යනාදිය පවතින බවත් නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 113