“සෙලෙන්දිවා” යනු සිංගප්පූරුවේ “තමාසෙක්” මොඩලයේ ආයෝජන සමාගමක්ලු

රජය මගින් පිහිටුවා ඇති සෙලෙන්දිවා නම් ආයෝජන සමාගම හරහා කොළඹ නගරයේ ඇතැම් ඉඩම් හා පෞරාණික ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට කටයුතු කරන බවට ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

එහි අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී. යාලේගම මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිට ඇත.

ඒ අනුව මෙම සමාගම හරහා සිදු වන්නේ රජය යටතේ ඒවා සංවර්ධනය කිරීම පමණක් බවද අතිරේක ලේකම්වරයා අවධාරණය කර තිබේ.

“සෙලෙන්දිවා ආයෝජන සමාගම 100% ක් ම රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරන බවත් එම ආයතනය පිහිටවූයේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කර එමඟින් රටට ආදායම් ලබා ගැනීමටයි” ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

විශේෂයෙන්ම කොළඹ නගරයේ දිරාපත් වී ඇති පෞරාණික ගොඩනැගිලි රජයේ පාලනය යටතේ ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

“සිංගප්පූරුවේ තමාසෙක් ආයෝජන මොඩලය ආදර්ශයට ගෙන පිහිට වූ මෙම සෙලෙන්දිවා අයෝජන සමාගම 100% ක් රජය සතු සමාගමක්. මෙම සමාගමේ කොටස් 51% ක් රජයට ද, කොටස් 49% ක් පුද්ගලික අංශයට ද ආයෝජනය සඳහා විවෘත කර තිබෙනවා.” ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා පවසයි.

මේ වන විටත් මහජනතාවට බරක්ව පවතින පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර සහ ඌන භාවිතයේ පවතින රාජ්‍ය දේපළ ලාභ ලබන තත්වයට ගෙන ඒමේ අරමුණින් ඇති කළ මෙම සමාගම ආයෝජන කලඹවල් (Clusters) තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර, ඒවා කොළඹ කොටුව ආයෝජන කලඹ, නිශ්චල දේපළ ආයෝජන සංවර්ධන කලඹ සහ රජයට අයත් සත්කාරක අංශ ආයෝජන කලඹ ලෙසින් නම්කර ඇත.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා සඳහන් කරන ආකාරයට සෙලෙන්දිවා ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වනුයේ ජනතාවට බරක්ව තිබෙන රාජ්‍ය ව්‍යාපාර නැවත ප්‍රතිසංස්කරණය කිරීමයි.

“සෙලෙන්දිවා ආයෝජන සමාගම 100% ක් රජයට අයත් විගණකාධිපතිතුමා විසින් විගණනය කරනු ලබන ආයතනයක්. ඒ වගේ ම සෙලෙන්දිවා ආයතනය පිහිටවූයේ ජනතාවට බරක් වෙලා තියෙන රාජ්‍ය ව්‍යාපාර ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරලා ඒවා රජයට බරක් නොවන විදිහට ඒක රටට ආදායම් ලබාගන්නා ව්‍යාපාර බවට පත් කරන්නත් ඒවගේ ම දැනට ඌණ භාවිත රජයේ දේපළ පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන සංවර්ධනය කිරීමට. ”

මෙහිදී අදහස් දක්වා සිටි සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරී ශමාහිල් මොහිදින් මහතා, කුමන ආයෝජනයක් සිදු කළ ද එහි පාලනය රජය යටතේ පවතින බව සඳහන් කළේය.

“සෙලෙන්දිවා ආයතනය ස්ථාපනය කිරීමේ පරමාර්ථය වෙන්නේ under perform under utilities access ඒවාගේ මූල්‍ය ප්‍රතිසංස්කරණය සහ ප්‍රධාන ප්‍රතිසංස්කරණය කරලා ඒවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීම. ඉන්වෙස්මන්ට් මොඩල් එක අපේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ දාල තියෙනවා. සෙලෙන්දිවා ආයතනය යටතේ වෙන ම ස්ථාපිත කරනු ලබනවා සමාගම් පනත යටතේ holding SPV (special purpose vehicle’ special purpose vehicle) එකක්. එහි පරමාර්ථය වෙන්නේ අපි ඒක ස්ථාපිත කරන්නේ under performance under utilities access කියන මූල්‍ය සහ ප්‍රතිසංස්කරණය කිරීමට.

ඒ වගේම මේ සෙලෙන්දිවා ආයෝජන සමාගම තුළ පෞද්ගලික අංශය ආයෝජනය සඳහා නිරාවරණය කරන්නේ 49% ක් පමණයි. මේ 49% කොටස මොන ආයතනයට මොන පුද්ගලික අංශයට ගියත් 49% ම කාට හරි ගියත් එකේ පාලනය තියෙන්නේ රජයට තමයි. ඒ නිසා මේ විදෙස් ආයෝජන සමාගම්වල special purpose vehicle ඒ හැම එකක ම අයිතිය පාලනය ගත්තාම රජයට නිතැතින් ම ඒකෙන් සිදුවෙන්න ඕන කාරණය ඉෂ්ට වෙනවා. මේ රජයට අයිති වෙනවා කියන්නේ නිකම්ම මහජනතාවට එහි ප්‍රතිලාභ ලැබෙනවා කියන එකයි.” යනුවෙන් ද සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරී ශමාහිල් මොහිදින් මහතා ප්‍රකාශ කර තිබේ.

Visits: 356