කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා රුපියල් 10 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී (SOY.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම සඳහන් කරයි.

මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 14 වැනිදා නම් කර ඇත.

කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමි විය යුතුව තිබේ. ඒ අනුව ඊට අදාළ වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමටත් කටයුතු යොදා තිබේ.

සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමූහයට අයත් කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී සමාගම සුප්‍රසිද්ධ ලංකා සෝයි වෙළෙඳ නාමය යටතේ සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි. එසේම Sera, Tetos සහ Nutriline යන සන්නාමද මෙම සමාගමට අයත් වෙයි.

කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම සෑම මූල්‍ය වසරක් සඳහාම අවසන් ලාභාංශ ගෙවීමක් සිදු කරන අතර, 2019/20 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 5.50 බැගින්ද, 2018/19 මුල්‍ය වර්ෂය සඳහා රුපියල් 4.50ක් බැගින්ද ලාභාංශ ගෙවීම් සිදු කර තිබේ.

Visits: 422