LOLC සමූහයේ සමාගම් තවදුරටත් වෙළෙඳ පොළ තුළ සිය ආධිපත්‍ය රැක ගනී

අද (ජූනි 04) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් නිමාවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම LOLC සමූහයේ සමාගම් දිනයේ පිරිවැටුමෙන් 34% කට වඩා වැඩි හිමිකරගැනීමක් පෙන්වමින් වෙළෙඳ පොළ තුළ සිය ආධිපත්‍ය තවදුරටත් රැක ගැනීමට සමත් වූ අතර, සියලු කොටස් මිල දර්ශකය වෙත ඒකක 32කට වඩාවැඩි දායකත්වයක් ලබා දී තිබෙන බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,533.72ත් ඒකක 7,586.14ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,567.38ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 03) දිනයට සාපේක්ෂව ඒකක 51.18ක් එනම් +0.68%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 100ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 77ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+11.84), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+5.78), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.31), කොමර්ෂල් බැංකුව COMB (+4.08), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+3.73), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-4.48), සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී CCS (-1.35), ඊබීක්‍රීසි ඇන්ඩ් කම්පැනි EBCR (-1.21), හේලීස් පීඑල්සී HAYL (-1.19), යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (-1.07) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,046.47ක අගයක් ගත් අතර, එය ඊයේ (03දා) ‍ට සාපේක්ෂව ඒකක 20.71 ක එනම් +0.68%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.16ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (03දා) වාර්තා කළ රුපියල් බිලියන 2.83ට සාපේක්ෂව 12% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.34ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.85%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 182.2ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 329.65ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 147.45කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 25.73ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.01 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 59.4ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 853ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 782ක සහ රුපියල් මිලියන 357ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 506