සන්ෂයින් හෝල්ඩිංග්ස් IFC වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 5 ණයට එකඟතාව

මෙරට මුල් පෙළේ සමාගමක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් පරිපාලිත සමාගමක් වන සන්ෂයින් කන්සියුමර් ලංකා පෞද්ගලික සමාගම ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයෙන් (IFC) වෙතින් ඉල්ලුම් කර තිබූ ඩොලර් මිලියන 5ක ණය පහසුකම සඳහා එම ආයතනය එකඟතාව පළ කර ඇතැයි එම සමාගම පවසයි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විසින් පසුගිය ජනවාරි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව හරහා මෙම ණය පහසුකම ඉල්ලුම් කර තිබුණි.

ඒ අනුව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව මගින් කොන්දේසි සහිතව මෙම එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක ණය පහසුකම සඳහා එකඟතාව පළ කර තිබෙන බවත් සමාගම පවසයි.

එසේම මෙම මුදල් යොදා ගනිමින් සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් හරහා සිය පාරිභෝගික අංශය වෙත ආයෝජන සිදු කරන බවත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම ණය පහසුකම අනුමත කළ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව ලෝක බැංකු සමූහය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. මීට පෙර අවස්ථා ගණනාවකදීම ඒ හරහා ශ්‍රී ලාංකික සමාගම් වෙත මූල්‍ය පහසුකම් ලබා දීම සිදුකර තිබේ.

Visits: 212