ලිට්‍රෝ ගෑස් හා ඒකාබද්ධ වීමේ රජයේ යෝජනාව ගැන ලාෆ්ස් කරුණු දක්වයි

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ලාෆ්ස් ගෑස් සමාගම් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇතැයි පැවසෙන යෝජනාව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත කරුණු දැක්වීමක් සිදු කිරීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම පසුගියදා පියවර ගෙන ඇත.

එහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතා වෙත ලිපියක් මගින් ලාෆ්ස් සමාගම මෙම කරුණු දැක්වීම සිදු කර තිබේ.

ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරන ආකාරයට රජය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම සමාගම් ඒකාබද්ධ කිරීමේ යෝජනාව ගෑස් මිල ස්ථායි කිරීම සඳහා අරමුණු කරවූවකි.

“ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් සමාගම සතුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පිහිටා ඇති LP ගෑස් පර්යන්තයේ දැනට පවතින ගබඩා ධාරිතාව පිළිබඳව සලකා බලමින්, රජයට අයත් ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම සහ ලාෆ්ස් ගෑස් ටර්මිනල් ලිමිටඩ් සමාගම අතර ඇති කරගන්නා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් හරහා සමාගම් දෙකෙහි මෙහෙයුම් ඒකාබද්ධ කිරීම තුළින් රටෙහි ආර්ථිකය වෙත ප්‍රතිලාභ අත්කරදීම මෙම යෝජනාවේ අරමුණයි.” යනුවෙන් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් මූලික අදියරේ පවතින බවත්, මේ දක්වා එම ඒකාබද්ධවීම පිළිබඳ කිසිදු ස්ථිර යෝජනාවක් හෝ දැනුම්දීමක් සිදු කර නොමැති බවත් සමාගම පවසයි.

ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් බලධාරීන් විසින් සිදු කරන නිල නිවේදනයක් ලැබුණූ වහාම ඒ පිළීබඳව කොළඹ කොටස් හුවමාරුව දැනුවත්කරන බවද ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 426