කාර්ගිල්ස් සිලෝන් කොටසකට රුපියල් 4.10 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.10 බැගින් ලාභාංශ ගෙවන බව සඳහන් කර සිටියි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 30 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සමාගමේ කොටස්හිමිකරුවන්ගේ ඇනුමැතිය හිමිවිය යුතුව ඇති අතර, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 29 වැනිදා පවත්වන බවද කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 241.50ක් ලෙස සටහන්ව විය. එය පෙරේදා දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 236.00 ට සාපේක්ෂව රුපියල් 5.50ක එනම් 2.33%ක ඉහළ යාමකි.

2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීද කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සෑමඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.90ක ලාභාංශයක් ගෙවා තිබේ.

Visits: 189