වැලිබල් ෆිනෑන්ස් කොටස් අතුරු බෙදීමක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය කොටස් අතුරු බෙදීමක් සිදු කරන බව නිවේදනය කර සිටියි. ඊයේ දිනයේදී (ජූනි 02) රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කර තිබේ.

සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී මෙලෙස කොටස් අතුරු බෙදීමක් සඳහා යොමු වී ඇත.

ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය කොටසක්ම තවත් කොටස් හතරකට බෙදෙන ලෙස 1 : 4 අනුපාතයට මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව සමාගම පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සමාගම මගින් නිකුත් කර තිබෙන සාමාන්‍ය කොටස් සංඛ්‍යාව වන 58,863,350 සාමාන්‍ය කොටස් 235,453,400ක් දක්වා සිව් ගුණයකින් ඉහළ යාමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි එකඟතාව හිමිවිය යුතුව ඇති බවත් සමාගම පවසයි.

එසේම මෙලෙස කොටස් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති අතර, ඉදිරියේදී පැවැත්වෙන අතිවිශේෂ මහා සභා රැස්වීමකදී කොටස්හිමිකරුවන්ගෙන් මෙම අනුමැතිය ලබා ගන්නා බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 413