යුනයිටඩ් මෝටර්ස් ලංකා රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සි (UML.N0000) සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම වන බවද යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අගෝස්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූලි28 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමට අදාළ තීරණය සඳහා වන අනුමැතිය සමාගමේ කොටස්හිමිකරුවන් විසින් ලබා දිය යුතුව ඇත. ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 27 වැනිදා පැවැත්වෙන බවද සමාගම පවසයි.

ඊයේ දවසේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 61.30ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙරේදා වාර්තා කළ කොටසක වටිනාකම වූ රුපියල් 61.50ට සාපේක්ෂව ශත 20ක එනම් 0.33%ක වටිනාකම් පහත බැසීමකි.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම පසුගිය දෙසැම්බර් මාසයේදීද ලාභාංශ ගෙවීමක් සිදු කර තිබේ. එය 2020/21 වසර සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන් කර ඇත. එහිදී කොටසක් සඳහා රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

Visits: 639