බටහිර පර්යන්තය සඳහා වන JKH ආයෝජනය ඩොලර් මිලියන 80ක්ලු

කොළඹ වරායෙහි බටහිර පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධ දේශීය හවුල්කරුවා වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 70ත් 80ත් අතර මුදලක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තුගත කර ඇතැයි පවසයි.

ඉන්දියාවේ අදානි පෝට්ස් සමාගම සමගින් එක්ව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සැලසුම වී තිබේ. මේ සඳහා දැනටමත් West Terminal (PVT) Ltd නමින් සමාගමක් ස්ථාපිත කර ඇත.

එම සමාගමේ කොටස් හිමිකමින් 51%ක් අදානි සමාගමට හිමිව ඇති අතර, 34%ක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට හිමිව ඇත. එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියට එහි 15%ක කොටස් හිමිකමක් පවතී.

මෙරට දැවැන්ත සමාගම් අතර මුල් පෙළේ පසුවන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී දැවැන්ත ව්‍යාපෘති රැසක් සඳහා ආයෝජන සිදු කර ඇතැයි පවසයි. ඒ අතර සිනමන් ලයිෆ් දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියද පවතී. එය ලබන 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී පමණ නිමා කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද සමාගමේ අදහස වී තිබේ.

ඒ අනුව මෙම බටහිර පර්යන්තය ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ මුල් භාගයේදී පමණ ආරම්භ කිරීමට සැලසුම් කරගෙන සිටින බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම පවසයි.

මෙලෙස ඉදිවන පර්යන්තයේ කොටසක මෙහෙයුම් කටයුතු වසර දෙකක පමණ කාලයකදී ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත්, එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිමා කිරීම සඳහා තවත් වසර දෙකක් පමණ කාලයක් ගත වනු ඇති බවත් සමාගම පවසයි.

ඒඅනුව වසර 2026 පමණ වන විට මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකි වනු ඇති අතර, ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ ආපසු පැවරීම යන එකඟතාව යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස වසර 35ක කාලයක් සඳහා මෙම පර්යන්තයේ මෙහෙයුම් සිදු කිරීමට ඉහත සඳහන් කළ සමාගම් තුන මගින් එකඟතාවට පැමිණ සිටියි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම දැනටමත් කොළඹ වරායේ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් පර්යන්තයේද මෙහෙයුම් සිදු කරයි.

මෙම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, “රටෙහි වරාය ව්‍යාපාර කටයුතු වෙත මෙම ආයෝජනය දිගුකාලීන අවස්ථාවන් රැසක් උදාකරාවි. ඒ වගේම මෙය අපගේ සමාගමේ අනාගතය වෙත මෙන්ම අපගේ ආයෝජන කළඹ වෙත වඩා හොඳ සමතුලිතතාවක් සඳහාත් හේතුවක් වේවි.” යනුවෙන් සඳහන් කර තිබේ.

මීටර් 20ක ගැඹුරක්ද සහිතව ගැඹුරු මුහුදු පර්යන්තයක් ලෙස ඉදි කෙරෙන මෙම කොළඹ වරායේ බටහිර පර්යන්තය සතුව වාර්ෂිකව ආසන්න වශයෙන්  බහාලුම් මිලියන 3ක ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව පවතින බවත් ජෝන් කිල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 265