ඉන්ධන මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු වැඩිමනක් පෙට්‍රෝචයිනා ඉන්ටර්නැෂනල් වෙත

2021 ජුනි මස 01 සිට 2022 ජනවාරි මස 31 දක්වා මාස අටක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු සිංගප්පූරුවේ පිහිටි සමාගම් දෙකක් වෙත පිරිනැමීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි රජය පවසයි.

ඉන්ධන මිල දී ගැනීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මෙම දිගුකාලීන කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමක් සිදු කර ඇතැයි ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී අනාවරණය කෙරිණි.

ඒ අනුව මෙහිදී පෙට්‍රල් (92 Unl) බැරල් 2,700,000+10/-5%ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් නම් පෞද්ගලික සමාගම වෙත පිරි නැමී තිබේ.

එසේම ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,120,000+10/-5% ක් මුතුරාජවෙල SPM මඟින් ගොඩබෑම පිණිස ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් නම් පෞද්ගලික සමාගම වෙත පිරිනමා ඇත.

මේ අතර පෙට්‍රල් (92 Unl) බැරල් 1,341,000+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 459,000 +10/-5%ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවද සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත ලබා දී ඇත.

මීට අමතරව ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,120,000+10/-5%ක් කොළඹ ඩොල්පින් ටෑන්කර් බර්ත් (DTB) සහ මුතුරාජවෙල SPM යන ස්ථාන දෙක හරහා ගොඩබෑම පිණිස ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවද සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනමා ඇතැයි මෙහිදී අනාවරණය කෙරිණි.

මීට පෙරද ශ්‍රි ලංකා රජය ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් සමාගම සහ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත කොන්ත්‍රාත්තු පවරා තිබේ.

මේ අතරින් ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් සමාගම ඉන්දියාවේ ආදිත්‍ය බිර්ලා සමූහයට අයත් සමාගමකි. පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම චීන රජයට අයත් චයිනා නැෂනල් පෙට්‍රෝලියම් කෝපරේෂන් සමාගමට අයත් වන්නකි.

Visits: 201