IAOP සංගමය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ

රූ රැජණ තරඟාවලි පිළිබඳ අන්තර්ජාතික සංගමය (IAOP) විසින් පසුගියදා තම සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස චානක පෙරේරා මහතා පත් කරනු ලැබූ බව පවසයි.

IAOP යනු ලොව පුරා රූ රැජණ තරඟ නියාමනය කරන ආයතනයක් වන අතර, එය ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගෙන ක්‍රියාත්මක වන ආයතනයකි.

රූ රැජණන් තේරීමේ ක්ෂේත්‍රය යනු බොහෝ දුරට රටක සංස්කෘතිකමය නිරූපකයක් වන අතර, IAOP ආයතනය අන්තර්ජාතික වශයෙන් එම ක්ෂේත්‍රය තුළ ආචාරධර්ම, ස්වයං නියාමනය සහ යහපත් වූ ක්‍රියාකාරකම් ආදී ගුණාංග ප්‍රවර්ධනය කිරීම මගින් මහඟු සේවයක් ඉටු කරයි.

ලොව පුරා ලියාපදිංචි අන්තර්ජාතික රූ රැජණ තරඟාවලි රාශියක් ක්‍රියාත්මක වන අතර, ඉතා තරඟකාරී මෙම ක්ෂේත්‍රය තුළ ප්‍රමිතිය පවත්වා ගනිමින්, සහභාගිවන තරඟකරුවන් සඳහා සාධාරණ මෙන්ම ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් IAOP මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කරයි.

අපක්ෂපාතී විනිසුරුවන් තරඟාවලි සඳහා පත් කරන්නේ ද යන්න පිළිබඳව IAOP නිරීක්ෂණය කරන නිසා, අදාල තරඟාවලිය පුරා ආචාර ධර්ම සහ ප්‍රමිතීන් පවත්වා ගැනීම කෙරෙහි අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාව ලබා දෙයි.

IAOP හි සභාපති ආචාර්ය රෝලන් රොබට්ස් මහතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී නව නියෝජිතවරයා පත් කිරීම පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ චානක පෙරේරා මහතා සහ ඔහුගේ කණ්ඩායම IAOP සාමාජික පවුලට ඉතා සාදරයෙන් පිළිගැනීමට මම කැමතියි. ශ්‍රී ලංකාවේ රූ රැජණ තරඟාවලි ක්ෂේත්‍රය IAOP සමඟ අත්වැල් බැඳ ගනිමින් එම ක්ෂේත්‍රය තුළ ආචාරධර්ම සහ ප්‍රමිතීන් ආරක්ෂා කරගැනීමට කැපවී සිටීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙනවා. මෙම ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට වෘත්තීයමය වශයෙන් ගොඩනැගෙන්නට සහයෝගය දැක්වීම මගින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා ඇති හොඳම ක්‍රමය මෙය බව අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුළ සාධාරණ, අවංක සහ සදාචාරාත්මක රූ රැජණ තරඟාවලි ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ සියලුම පාර්ශ්වයන්ට මෙන්ම අපගේ නව සාමාජික කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ” යනුවෙන් පැවසුවේය.

IAOP ආචාර ධර්ම පද්ධතියට අනුකූලව ශ්‍රී ලංකාවේ රූ රැජණ තරඟාවලි ක්ෂේත්‍රය නව මානයකට ගෙන යාමට මෙන්ම, මෙම ක්ෂේත්‍රය තුළ සාධාරණත්වය සහ අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් හා මාර්ගෝපදේශයන් ස්ථාපිත කිරීම වෙනුවෙන් චානක පෙරේරා මහතා ඉතා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි.

එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ චානක පෙරේරා මහතා ව්‍යවසායකයෙකි. එම නිසා මෙම ක්ෂේත්‍රය පිළිබඳව ඔහුගේ විශේෂඥතාව මෙන්ම , විනිවිදභාවයෙන් යුත් සාධාරණ ක්‍රියාකාරිත්වය නිසාම, මෙම නව පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ රූ රැජණ තරඟාවලි ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව සුබදායී බලාපොරොත්තුවක් තබා ගත හැකිය.

මෙම නව අත්වැල් බැඳ ගැනීමත් සමග ඉදිරියේ දී රූ රැජණ තරඟාවලි පවත්වන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ද IAOP අරමුණු කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ IAOP සමග ඒකාබද්ධව කටයුතු කරන්නේ (SWAP) කාන්තා සංගමය වන අතර ඔවුන් සමඟ සම්බන්ධ වී, තරඟකරුවන්ගේ අත්දැකීම් සවිබල ගැන්වීම තුළින් සෑම තරඟකරුවෙකුටම වෘත්තීයමය වශයෙන් ගොඩනැගීමට අත්වැලක් වීමට ද අපේක්ෂා කෙරේ.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව තිරසාර සංවර්ධන 5 වන ඉලක්කය (SDG 5) සපුරාලීමේ අරමුණින්, ජාතික හා නියාමන පාලක මණ්ඩල සමඟ IAOP කටයුතු කරයි. මෙසේ SDG 5 වෙත අවධානය යොමු කරමින් මෙරට සියලුම කාන්තාවන්ගේ ස්වාධීනත්වය රැක දෙමින්, ඔවුන් සවිබල ගැන්වීම සහ ඒ සඳහා යම් පදනමක් සපයමින් ඔවුන්ගේ වෘත්තීයමය සාර්ථකත්වය ගොඩනගාගැනීමට ශක්තියක් වීමටත් IAOP අපේක්ෂා කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක් වූ චානක පෙරේරා මහතා, ” රූ රැජණ තරඟාවලි ක්ෂේත්‍රය කියන්නෙ ඉතාමත් සුවිශේෂී ක්ෂේත්‍රයක්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ තරුණියන් මෙම ක්ෂේත්‍රය වෙත දැඩි නැඹුරුවක් දක්වනවා. කාන්තාවන් බලගන්වන මෙම රූ රැජණ තරඟාවලි තුළ දී සියලුම දෙනාට සමාන අවස්ථා, සාධාරණත්වය සහ අඛණ්ඩතාව සහතික කිරීම අපගේ වගකීමක්. මෙහි සෑම අදියරකදීම සදාචාර සම්පන්න බව පවත්වා ගැනීමේ වැදගත්කම මම වටහාගෙන තිබෙනවා. ඒ වගේම මෙම සුවිශේෂී කාර්යභාරය ඉටුකිරීමට මා තෝරාගැනීම පිළිබඳව IAOP සංවිධානයට මම ස්තුති වන්ත වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

Visits: 118