Paytm සමාගම ඉන්දියාවේ විශාලතම මූලික කොටස් නිකුතුවට සැරසෙයි

ඉන්දියාව තුළ මුල් පෙළේ ඩිජිටල් ගෙවීම් වේදිකාවක් බවට පත්ව සිටින Paytm සමාගම මේ වසර තුළදී සිදු කරන මූලික කොටස් නිකුතුවක් (IPO) හරහා එරට කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බව පවසයි.

සමාගම මගින් දැනට සිදු කර ඇති සැලසුම්වලට අනුව මෙම මූලික කොටස් නිකුතුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් එනම් ඉන්දීය රුපියල් කෝටි 22,000 ක් පමණ වෙයි. මෙහිදී නිකුත් කරන කොටස් ප්‍රතිශතය 10%ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අනුව මෙය ඉන්දියානු සමාගමක් මගින් සිදු කරන වැඩිම වටිනාකමකින් යුත් මූලික කොටස් නිකුතුව ලෙසින්ද සටහන්ව තිබේ.

මීට පෙර One97 Communications Pvt Ltd ලෙස හැඳින්වුණු මෙම සමාගම පසුකාලීනව ඩිජිටල් ගෙවීම් වේදිකාවක් බවට පරිවර්තනයවීමත් සමගින්ම Paytm බවට පත් විය. විජේ ෂේකර් ෂර්මා  Paytm හි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාය.

මෙම මූලික කොටස් නිකුතුව සඳහා දැනටමත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, මේ වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතරතුරදී මෙම නිකුතුව සිදු කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා පවසයි.

මෙම නිකුතුවත් සමගින්ම Paytm සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 24ක් එනම් ඉන්දියානු රුපියල් ට්‍රිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇති බවත් සඳහන් වෙයි. මීට පෙර 2019 වසරේදී සමාගම වෙත ජපානයේ සොෆ්ට්බෑන්ක් සහ චීනයේ අලිබාබා වෙතින් හිමි වූ ඩොලර් බිලියනයක අරමුදල් සමගින් එහි වටිනාකම ඩොලර් බිලියන 16ක් බවට පත්ව තිබුණි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙලෙස Paytm සමාගම හට මුලික කොටස් නිකුතුවක් වෙත යොමු වීමේ අදහස මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. බොහෝ විට මෙය අරමුදල් රැස් කරගැනීමටත් වඩා සිය සමාගමේ දිගුකාලීන ආයෝජකයන් වන මොනෙටයිස් හෝල්ඩිංග්ස්, සොෆ්ට්බෑන්ක්, අලිබාබා සමූහය සහ බර්ක්ෂයර් හාත්වේ යන සමාගම් වෙත යම් අවස්ථාවක් ලබා දීමක් අරමුණු කරගත්තක් විය හැකි බවත් සඳහන් වෙයි.

Paytm හි කොටස් අතරින් 39.9% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ චීනයේ Ant Financial සහ Alibaba සමාගම වෙතයි. එසේම ජපානයේ සොෆ්ට්බෑන්ක් වෙත 20% ක ප්‍රතිශතයක් හිමිය.

මෙම මූලික කොටස් නිකුතුවේදී සොෆ්ට්බෑන්ක් තමන් සතු කොටස් ප්‍රතිශතයන් 3-5% ත් අතර ප්‍රතිශතයක් අලෙවි කිරීමටත් සූදානමින් සිටින බව නිල නොලත් වාර්තා සඳහන් කරයි.

Visits: 271