DIMO රුපියල් 12.50 බැගින් ලාභාංශ ගෙවීම ජූනි 29 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී (DIMO.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 12.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද පැවසෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XDDate) දිනය ලෙස ජූනි 09 වැනිදා නම් කෙරී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

මේ අතර අද දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භවී ගත වූ පැය දෙකක කාලය තුළ සමාගමේ කොටසක් සඳහා වන වටිනාම රුපියල් 527.50ක් බවට පත්ව තිබුණි.

ඒ අනුව එය පසුගිය සිකුරාදා දිනයේදී එහි කොටසක් වාර්තා කළ රුපියල් 505.75 වටිනාකමට සාපේක්ෂව රුපියල් 21.75ක එනම් 4.30%ක  වර්ධනයකි.

Visits: 200