IPO හි ආයෝජනය කිරීම ගැන CSE අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්න සාර්ථකයිලු

කොළඹ කොටස් හුවමාරුව විසින් දැනුම්වත් හා බුද්ධිමත් ආයෝජක ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණෙන් මූලික කොටස් නිකුතුන්වල ආයෝජනය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් පසුගිය මැයි 18 වන දින ආරම්භ කරනු ලැබූ බව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අනුරාධපුර ශාඛාව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා NDB ආයෝජන බැංකුව සම්පත්දායකත්වය සපයා තිබේ. ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු මෙම වැඩසටහන සඳහා 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර විද්වත් සාකච්ඡාවක් ලෙස පැවති මේ සඳහා විචාරාත්මක ප්‍රශ්න යොමු කිරීම කැපී පෙනෙන ලෙස ආයෝජක උනන්දුව පිළිබිඹු කරන්නක් වූ බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙහිදී අදාළ වැඩසටහනෙහි සම්පත්දායකයින් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම් අංශයෙහි සහකාර කළමනාකරු කස්සප වීරසේකර, NDB ආයෝජන බැංකුව වෙනුවෙන් එහි සාංගමික උපදේශක අංශයෙහි උප සභාපතිනි සුජානි පෙරේරා සහ එම අංශයෙහි කළමනාකරු චරිත්උඩුගම යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.

මෙම වැඩසටහන තුළදී මූලික කොටස් නිකුතුවක් හඳුනාගැනීම හා එහි ආයෝජනය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව මෙන්ම සමාගම් මූලික කොටස් නිකුත් කිරීම හරහා ප්‍රාග්ධනය රැස් කරනු ලබන ආකාරය මනාව පැහැදිලි කර දෙනු ලැබූ බව පැවසෙයි. එසේම සමාගම් ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට අමතරව කොටස් නිකුත් කිරී තුළින් ආයෝජකයන්ට ලාභ ලබා ගතහැකි අකාරයද උදාහරණ මගින් පිළිබිඹු කිරීමක්ද සිදුවී තිබේ.

එසේම ආයෝජකයෙකු මූලික කොටස් නිකුතුවකට අවතීර්ණවීමේදී සලකා බැලිය යුතු කරුණුමෙන්ම සංස්ථා ප්‍රකාශය කියවා නිවැරදිව අවබෝධ කරගැනීමේ වැදගත්කම NDB ආයෝජන බැංකුව නියෝජනය කරමින් සහභාගිවූ විද්වතුන් දෙපළ අවධාරණය කරනු ලැබීය.

විශේෂයෙන්ම සමාගමේ වර්තමාන මූල්‍ය ස්ථාවරත්වය, අනාගත සැලසුම්, කළමනාකාරීත්වය, මෙහෙයුම් සංකල්ප හා යහපාලන මූලධර්ම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම සුදුසු බව යෝජනා වී ඇති අතර, මේ සියල්ල සාපේක්ෂ කාරණා මත පිහිටා කරනු ලබන යෝජනා බවත් නිර්දේශ කිරීම් නොවන බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මේ අතර කොළඹ කොටස් හුවමාරුව අධ්‍යාපනික කාර්යභාරය මනාව වටහා ගනිමින් කාලෝචිත මෙවැනි තේමාවන් රැසක් සමගින් ඉදිරියටද ආයෝජකයින් දැනුමින් සන්නද්ධ කිරීමේ කාර්යයෙහි නිරත වන බවද සඳහන් කර සිටියි.

මෙම වැඩසටහනේ පටිගත කළ වීඩියෝව මෙම ලින්ක් එක හරහා ලබා ගන්න.

https://drive.google.com/file/d/1D0yo0gSVQjx5FOKhG_Dma9NmNAbBgFpK/view

Visits: 396