“සෙලෙන්දිවා කා සඳහාද?” – හිටපු ඇමති පාඨලීගේ 43 සේනාංකය මෙසේ කියයි

සෙලෙන්දිවා ආයෝජන සමාගම නමින් පිහිටුවා ඇති සමාගමක් හරහා කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය සතු දේපළ එක් තනි ආයතනයක් බවට පත්කරමින් ඒවා සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය පියවර ගෙන ඇත.

100%ක්ම රජයට අයත් සමාගමක් බව පැවසෙන මේ හරහා සිදු කිරීමට යෝජිත ආයෝජන කළඹ සහ එහි සැලසුම් සඳහාද පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම සෙලෙන්දිවා ආයෝජන සමාගම සම්බන්ධයෙන් සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව බොහෝ කතාබහ දැන් ඇතිව තිබේ.

පැවැති රජයේ බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවා ගෙන ඇති 43 වැනි සේනාංකය නම් සංවිධානයද අද මේ සෙලෙන්දිවා ආයෝජන සමාගම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පැවැති රජයේ නාගරික සංවර්ධන අධිකාරියද එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය.

මේ එම මාධ්‍ය නිවේදනයයි.

කොළඔ නගරයෙහි පිහිටි බ්‍රිතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් ගොඩනැගිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ යෝජනාවලියක් පිළිබඳව මේ දිනවල දැඩි කතා බහක් පවතියි.

සෙලෙන්දිවා ආයෝජන සමාගම නමින් ස්ථාපනය කරන ලද විශේෂ කාර්යය වාහකයක්/ඒකකයක් මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර මධ්‍යයෙහි පිහිටි ස්ථානමය හා මූල්‍යමය වශයෙන් වැදගත් රාජ්‍ය සතු දේපල වඩාත් ප්‍රශස්ථ අන්දමින් භාවිතයෙහි යෙදවීම අරමුණු කොට ඒ සඳහා හැකියාව හා උනන්දුවක් දක්වන පුද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ වැඩ සටහනෙහි එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතීන් දක්වා ඇත.

මෙම ගොඩනැගිලි වලට අමතරව බේරේ වැව ආශ්‍රිතව පිහිටි දැනට නාවික හා ගුවන් හමුදාව භාවිතා කරන වටිනා ඉඩම් සමූහයක්ද, රජයේ කොටස්කාරීත්වයෙන් පවත්වා ගෙන යන හෝටල් කිහිපයක්ද මෙම ඒකකය යටතේ ආයෝජකයින් වෙත ලබාදීමට නියමිතය.

නගරයක් සංවර්ධනය වීමේදී පවතින අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස දේපල සංවර්ධනය නවීකරණය හා වඩාත් හොඳ සමාජ ආර්ථිකමය ප්‍රතිලාභ හිමිවන ආකාරයට භාවිතයෙහි යෙදවීම සුදුසු දෙයකි. ඒ පිළිබඳව විවාදයන් අනවශ්‍යය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1999 කොළඔ නගරයෙහි සංවර්ධන සැළසුමෙහි ඓතිහාසික මධ්‍ය ප්‍රදේශය වශයෙන් දක්වා ඇති බිම් කොටසෙහි පිහිටි පැරණි මධ්‍යම තැපැල් හල, පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය පිහිටි ගොඩනගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, දැනට ප්‍රතිනිර්මාණය වෙමින් ඇති ගෆූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි කිහිපයක් මෙම ලැයිස්තුවට ඇතුලත්ය. ගොඩනැගිලි ව්‍යුහය හා නිර්මාණාත්මක භාවය අතින් වාස්තු විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සංරක්ෂණ වටිනාකමක් විදහා පාන මෙම ගොඩනැගිලි කොළඹ නගරයෙහි ඉංග්‍රීසි පාලන සමය පිලිබඳව තතු සපයන මූලාශ්‍ර වශයෙන් දැක්වීම නිවැරදිය.

කෙසේ වෙතත් මේ බොහෝ වටිනා ගොඩනැගිලිවල අද වන විට පවතින බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර භාවිතාවන් සැලකීමෙහිදී දැනට එම පරිශ්‍රයන් භාරකාරව සිටිනා ආයතන වලට ඒ සියලු වටිනාකම් රැකෙන අයුරින් ගොඩනගිලි පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී ඇති බව නොරහසකි. නඩත්තුව සඳහා යෙදිය යුතු අධික වැය, රාජ්‍ය ආයතන වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමෙහි අපහසුතාවන්, යොදවන මුදලට ඍජු ආයතනිකමය ප්‍රතිලාභ නොලැබීම, ආයතනමය කටයුතු වලට ගොඩනැගිල්ල යොදවා ගැනීමේ ප්‍රායෝගික ගැටළු ආදී තවත් හේතූන් මෙම තත්වයන්ට තුඩු දී ඇත.

එවැනි අවස්ථාවන්හිදී ඓතිහාසික උරුමයන් ලෙස සැළකෙන ගොඩනැගිලි රැක ගැනීම පිණිස ලොව පුරා බහුලව යොදාගන්නා සංරක්ෂණ ක්‍රම වේදයකි “අනුගත ප්‍රති භාවිතය”. කොළඔ නගර මධ්‍යයෙහි පවතින වටිනා පැරණි ගොඩනැගිලි පවත්වාගෙන යෑම සඳහාද මෙම ක්‍රමවේදය උචිත ය. දැනටමත් කොළඹ මෙන්ම සෙසු නගර රාශියකම මෙවන් විශිෂ්ඨ ප්‍රතිභාවිතයන් පිළිබඳ උදාහරණ බොහොමයෙකි. ඒ සඳහා අවශ්‍ය වන සුදුසු භාවිතයන්ද, එවන් සුදුසු භාවිතයන්ට ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට යොදා ගැනිම සඳහා ආයෝජනයන් කිරීමට සූදානම් ආයෝජකයින්ද සොයා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතු දෙයකි. එසේම රජයට ඒ සඳහා මූදල් යෙදවිය නොහැකි නම් සුදුසු ලෙස පෞද්ගලික අංශයේ සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීමෙහිද ගැටළුවක් නොපෙනේ.

එසේ නම් ඉහත සඳහන් කල ගොඩනැගිලි සෙලෙන්දිවා නම් රාජ්‍ය ආයතනයක් භාරයට පත් කොට ඒ හරහා පෞද්ගලික පාර්ශවයන් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය මෙතරම් විවාදයකට ලක්ව ඇත්තේ මන්ද?

මේ පිළිබඳව සොයා බැලීමේදී ජනතාව අතර යම් සාධාරණ සැක මතු කරන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

පලමු කොටම, මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය කොට ප්‍රතිභාවිතයන් සඳහා යෙදවීමෙහි හා බදු දීමෙහි මීට පෙරත් කටයුතු කොට පලපුරුදු ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කොට මෙම කටයුත්ත වෙනත් ආයතනයක් වෙත යොමුකිරීමෙහි සැබෑ අවශ්‍යතාවය කුමක්ද යන්න සිතා බැලිය යුතුය. නාගරික සංවර්ධන අධිකාරියට තවදුරටත් මෙවන් ව්‍යාපෘති කිරීමෙහි ධාරිතාවක් නොමැතිද? නොඑසේ නම් රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය අනුගමනය කල යුතු ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුවහොත් වත්මන් දේශපාලන අධිකාරයට ඇවැසි පාර්ශවයන්ට මෙම වටිනා දේපල ලබාදීමට බාධාවන් වන නිසා විය හැකිය.

එසේත් නැතිනම් කිසියම් පාර්ශවන්ට තොගයක් වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙවා ලබා දීමට දැනටමත් එකඟ වී ඇති නිසා විය හැකිය. වත්මන් රජය කොළඹ වරාය නගර පනත ලහි ලහියේ සම්මත කොටගත් ආකාරය, කොළඹ අවට ඉඩම් කිසිදු තරඟකාරී පදනමකින් තොරව විකුණා දැමූ ආකාරය, ආපදා අවස්ථාවන් පවා තම හිතවතුනට ව්‍යාපාර කොට ගැනීමට අවස්ථාව කර දුන් ආකාරය පිළිබඳව සළකා බැළීමෙහිදී මෙවන් සැකයන් මතුවීම නොවැළැක්විය හැක.

දෙවැනුව, කොළඹ කොටුව ප්‍රදේශයෙහි ඉතා ඉහල යන ඉඩම් වටිනාකම සළකා බැලූ විට පුරාවිද්‍යා පනත අනුව බිඳ දැමිය නොහැකිවාක් මෙන්ම බාහිර ආකෘතිය වෙනස් නොකර සංරක්ෂණය කල යුතු මෙම ගොඩනැගිලි රජය කරවන පිරිස දකින ආකාරයට නාගරික සංවර්ධනයට බාධාවක් වී ඇතිද යන්නද සිතා බැලීමට වටී.

එසේ වන්නේ නම් කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙහි 2012 වසරෙහිදී ඉන්දියාවේ ටාටා සමාගම වෙත තරඟකාරී මිළ ගනන් කැඳවීමකින් තොරවම ඉඩම ලබා දී, නිර්මාණාත්මක භාවය, නාගරික අලංකරණය හා නේවාසික ප්‍රජාව පිළිබඳ කිසිදු සංවේදීත්වයක් හෝ අධ්‍යනයක් නොමැතිව ඉඩම් වටිනාකම පමණක්ම පෙරදැරි කොටගෙන ඇරඹුනු, ඒ නිසාවෙන්ම අදටත් නොවිසදුනු මහත් ප්‍රශ්න රාශියකට මඟ පාදා ඇති “නාගරික පුණර්ජීවන” ව්‍යාපෘතිය නුදුරු අනාගතයෙහිදී කොළඹ කොටුවේ ඓතිහාසික උරුමයන්ට සිදුවන්නට යන ඉරණම පිළිබඳ අපූරු පූර්වාදර්ශයක් සපයයි.

තෙවැනුව, විශේෂ කාර්යය වාහකයක් (Special Purpose Vehicle) ලෙස පිහිටුවා ඇති එකී සෙලෙන්දිවා රාජ්‍ය සමාගම තම ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරණුයේ කවර නීති පනතක් යටතේද යන්නද සොයා බලනු වටී. දැනට පවතින සමාගම් පනතට යටත්වද, විශේෂ ව්‍යාපාර පහසුකම් අනුවද එසේත් නැත්නම් ලඟදීම සම්මත කරගත් වරාය නගර කොමිසම් පනතේ විධිවිධානයන් උපයෝගී කොට ගෙනද?

එසේ නම් මෙම ප්‍රයත්නය හරහා වරාය නගරයේ ආයෝජකයින් හට පමණක් ලබාදෙන සියළු සහනයන් මෙම පරිශ්‍රයන්හි ආයෝජකයින්ටත් ලැබේද? එසේ වුව හොත් විදේශීකයනට පමණක් ඉඩ සැළසී දේශීය ව්‍යාපාරිකයනට ඇති අවස්ථා ඇහිරෙනු ඇත. පසුගිය සති කිහිපය පුරා රජය කරවන පාර්ශවය විසින් අවිචාරවත්ව සිදු කල ක්‍රියාකාරකම් මෙවන් ප්‍රශ්නාවලියකට මග සළසයි.

ඒ සියල්ල සමගම අමතක කල නොහැකි කරුණ වන්නේ මෙම ගොඩනැගිලි වලින් බොහොමයක් සංරක්ෂණය හා නවීකරණය සඳහා රාජ්‍ය ආයතන දරා ඇති රුපියල් කෝටි ගණනක පිරිවැයයි. යම් හෙයකින් අදාළ ආයෝජකයින් මගින් මෙම වටිනාකම රජයට හිමි නොවන්නේ නම් එය රටෙහි බහුතරයක් වන ඉදිරියෙහිදී මෙම ස්ථාන වල ඇතිවන්නේ යැයි සිතිය හැකි ව්‍යාපෘතීන් වලින් ඍජු ප්‍රතිඵල නොලබන මහ ජනතාවට සිදුවන බලවත් අසාධාරණයෙකි.

ඉදින් මෙවැනි ප්‍රශ්නාර්ථයන් තුල වඩා නිවැරදි තොරතුරු දැක්වීමක් සහිතව, මනා පාරදෘශ්‍යතාවයෙකින් යුතුව හා සුපැහැදිලි පරමාර්ථයන්ගෙන් යුතුව කටයුතු නොකරන්නේ නම් මෙම දේපල සම්බන්ධයෙන් වත්මන් රජය ක්‍රියා කරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීමට සංවේදී ප්‍රගතිශීලී ජනතාවට ඇති අයිතිය රජයට ප්‍රශ්න කල නොහැක.

Visits: 316