ලංකා වෝල්ටයිල්ස් ලාභාංශ නිවේදනයත් සමග කොටසක් රු. 4කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී (LWL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශගෙවීමට තීරණය කර ඇතැයි පසුගිය සිකුරාදා (28දා) අනාවරණය කළේය. එදින පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.10 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවද ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 29 වැනිදා ලෙස ප්‍රකාශ කර තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 08 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන්වරට ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා (28දා) දිනයේදී ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 56.90ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය අඟහරුවාදා දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 52.90ට සාපේක්ෂව රුපියල් 4ක එනම් 7.56%ක කැපී පෙනෙන ඉහළ යාමකි.

ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදීද සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර, දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම වූ එහිදී කොටසක් සඳහා රුපියල් 10ක් බැගින් ලබා දීම සිදු විය.

Visits: 376