බටහිර පර්යන්තය ඉදිකිරීමට West Container International Terminal ලෙස නව සමාගමක්

නව සමාගමේ 51%ක් ඉන්දියාවේ අදානිට, 34%ක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීට, 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීම වෙනුවෙන් West Container International Terminal (Pvt) Ltd නමින් නව සමාගමක් පිහිටුවා ගෙන ඇතැයි වාර්තා පවසයි.

මෙහිදී මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ සමාගම් මෙම පර්යන්තය ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ ආපසු හුවමාරුව යන කටයුතු සඳහා වන එකඟතාවට අදාළ කැමැත්ත පළ කිරීමේ ලිපිය සඳහා පසුගිය මැයි 03 වැනිදා අත්සන් තැබීමෙන් අනතුරුව මෙම සමාගම පිහිටුවීම සිදුව තිබේ.

අද පළවුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳ කරුණු අනාවරණය කර සිටියි.

ඒ අනුව පිහිටවුණු මෙම නව සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51%ක් ඉන්දියාවේ අදානි පෝර්ට්ස් සමාගමටත්, 34%ක් මෙරට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමටත්, ඉතිරි 15%ක ප්‍රතිශතය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් හිමිවන ලෙස බෙදී වෙන්වී තිබේ.

පුවත්පත පවසන ආකාරයට මෙම එකඟතාවට අත්සන් තැබුණු මැයි 3 වැනිදා සිට දින 180ක කාලයක් ඇතුළතදී ඊට අදාළ පාර්ශ්වයන් සියල්ලන්ම මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන මුදල් පිළිබඳව, සංවර්ධන කටයුතු පිළිබඳව සහ ඒ සඳහා යොදා ගන්නා සම්පත් සම්බන්ධයෙන් අනාවරණය කළ යුතුව ඇත.

දිගින් මීටර් 1400ක් සහ ගැඹුරින් මීටර් 20ක් යුක්තව මෙම නව බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීම සැලසුම වී තිබේ.

Visits: 433