අමල් කබ්රාල් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති ධුරයට

මෙරට මුල් පෙළේ සමාගම් රැසකම ප්‍රධාන ධුර රැසක් දරමින් අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණ පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් සහිත අමල් කබ්රාල් මහතා සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

පසුගිය මැයි 25 වැනිදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී කබ්රාල් මහතා මෙලෙස එහි සභාපති ධුරය සඳහා පත් කර ගැනීම සිදු වී තිබේ. එතෙක් එම ධුරය දැරූ මුනිර් ෂෙයික් මහතා එම ධුරයෙන් ඉවත් වීමත් සමගින්ම හිස් වූ සභාපති ධුරය වෙනුවෙන් කබ්රාල් මහතා මෙලෙස පත්ව තිබේ.

ඒ අනුව මැයි 26 වැනිදා සිට මෙම නව පත්කිරීම බලාත්මක වන බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි. අමල් කබ්රාල් මහතා ඒ වනවිටත් සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2017 වසරේ සිටම කටයුතු කරමින් සිටි අතර, 2020 පෙබරවාරි මාසයේදී ඔහු සමාගමේ උප සභාපතිවරයා ලෙසද පත් කෙරිණි.

මේ අතර එම පත්වීම ලබන අවස්ථාව වන විටත් අමල් කබ්රාල් මහතා සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී, ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී, සිල්වර්මිල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ සීඅයිසී ෆීඩ්ස් ගෘප් ඔෆ් කම්පැනීස් යන සමාගම්හිද සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි.

එසේම ඔහු යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයාද වෙයි. ඒ මහතා සතුව කළමනාකරණය, උපායමාර්ගික සංවර්ධනය සහ අලෙවිකරණය මෙන්ම අලෙවි කළමනාකරණය යනාදී ක්ෂේත්‍ර තුළ දශක තුනකට අධිකව දේශීය සහ ජාත්‍යන්තරවද ව්‍යපාරික අත්දැකීම් සහිත බව පැවසෙයි.

මීට අමතරව කබ්රාල් මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ හැටන් නැෂනල් බැංකුවෙහිද විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන අමල් කබ්රාල් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් එම්බීඒ උපාධියක් හිමි කරගෙන තිබේ.

Visits: 550