COVID-19 වසංගතය හා අපද්‍රව්‍ය වෙන් කිරීමේ ගැටලූව හමුවේ ජීවිතය ජයගත් මහේෂ්

කසළ ස්වභාවික පරිසරයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු ලබයි. එම කසළ නැවත නැවත ප‍්‍රයෝජනයට ගැනීම හෙවත් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ඒ මගින් පෘථිවිය පිරිසිදුව තබා ගැනීමට සමාජය වෙත සුවිසල් පිටුවහලක් වන හෙයිනි.

පරිසරයේ සුන්දරත්වය පමණක් නොව ඒ හරහා උත්පාදනය වන රැකියා අවස්ථා තුළින් සිදු වන ආර්ථික සංවර්ධනයද ප‍්‍රතිචක‍්‍රීයකරණයේ තවත් වාසියක් ලෙස සඳහන් කළ හැකිය.

1980 දශකයේ සිට විවිධ පුද්ගලයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මෙරට විවිධ කර්මාන්ත හා වෙනත් අංශ තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමටත් ඒ හරහා නව ජීවනෝපායන් නිර්මාණය කිරීමටත් කටයුතු කර තිබේ.

එතැන් සිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා එක් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව කෙමෙන් ඉහළ යමින් පවතින අතර 2007 වසරේ 37 කින් ආරම්භව 2019 වසර වන විට 230ක් දක්වා ඒ සඳහා ලියාපදිංචි වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ දත්තවලින් තහවුරු වේ.

ගාල්ලේ හෝටල් හා රෝහල් පාදක කරගනිමින් පාරිභෝගිකයන් විසින් පරිහරණය කොට ඉවත දමන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය (PET සහ HDPE) එකතු කර ගනිමින් ජීවිකාව සකසා ගන්නා මහේෂ් ද ඒ ආකාරයේ සුවිසල් සේවාවක් සලසන්නෙකි. වසර 10ක පමණ කාලයක් තිස්සේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ඔහුට පාසලේ 8 හා 2 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලූ දෙනා වෙනුවෙන් කැප වන්නට එය ශක්තියක් වී ඇත.

සාමාන්‍ය වැඩ දිනයන්හිදී නිවසේ සිට තමන්ගේ ලොරි රථයෙන් පිටත් වන ඔහු ප්ලාස්ටික් එකතු කිරීම ආරම්භ කරනුයේ ගාල්ල නගරයෙනි. එහිදී උණවටුන ප‍්‍රදේශයේ හෝටල් 40ක පමණ ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ගන්නා ඔහු ගාල්ල, කඹුරුගමුව හා බූස්ස හමුදා කඳවුරුවලින් තමන් වෙත ලබා දෙන ප්ලාස්ටික් අපද්‍රව්‍යද එක් කර ගනී. එසේම ගාලූ වරාය මුහුදේ ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සොයා ගන්නා ඔහු ගාල්ල වෙරළ තීරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍යයද තමන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවට රැස් කර ගනියි.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ප‍්‍රතිචක‍්‍රීයකරණ හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද COVID-19 ඔහුගේ ව්‍යාපාරයට නව අභියෝග රැසක් එල්ල කර තිබේ. COVID-19ට පෙර ශ‍්‍රී ලංකාවේ විශාලතම ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් වෙත මසකට PET ප්ලාස්ටික් කිලෝ ග‍්‍රෑම් 2500-4000ක් පමණ ප‍්‍රමාණයක් ලබා දෙන මහේෂ් අද වන විට එකතු කරනු ලබන්නේ ටාටා ලොරි රථ දෙකක් පිරෙන්නට තරම් ප‍්‍රමාණයක් පමණකි. එය මසකට කිලෝ ග‍්‍රෑම් 1000ක පමණ ප‍්‍රමාණයකි.

ඒ කෙසේ වුවද මහේෂ්ගේ ජීවිතයට වසංගතයට වඩා වැදගත් වන්නේ අපද්‍රව්‍ය එකතු කිරීමේ ගැටලූවයි. දශකයක් තිස්සේ මෙම කර්මාන්තය තුළ නියැලෙමින් සිටින මහේෂ් ප‍්‍රතිචක‍්‍රීයකරණ කටයුතුවලදී, විශේෂයෙන් ගෘහස්ථ හා වාණිජ මට්ටමෙන් අපද්‍රව්‍ය එකතු කිරීමේදී මෙවන් ගැටලූවකට මුහුණ දී ඇත්තේ ප‍්‍රථම වතාවටය. ජනගහනය ඉහළ යාම, පාරිභෝගික චර්යාවන්හි වෙනස්කම් මෙන්ම නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් නොමැතිවීම ශ‍්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය කළමනාකරණයේ හා ඒවා වෙන් කිරීමේ ප‍්‍රමුඛ ගැටලූකාරී තත්වයන් ලෙස හඳුනාගත හැකිය. මේ පිළිබඳව මහේෂ් දරන්නේ මෙවන් අදහසකි. ‘‘මිනිස්සු හැම වර්ගයකම අපද්‍රව්‍ය බැහැර කරනවා. හෝටල්වලින් මා එකතු කරන්නේ එකට මිශ‍්‍ර වුණු අපද්‍රව්‍යයයි. එම අපද්‍රව්‍ය වෙන් කිරීම ගැන සෑම කෙනෙක්ම දැනුවත් වුණොත් මා වැනි අපද්‍රව්‍ය එකතු කරන අයට ඒවා පහසුවෙන් ලබා ගෙන ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන සමාගම් වෙත ලබා දීමට හැකියාව ලැබෙනවා.’’ ඒ මහේෂ්ගේ අදහසයි.

මෙහිදී ඔහු සඳහන් කළේ හෝටල්වලට පැමිණෙන අමුත්තන් විසින් ඉවත දමන අපද්‍රව්‍ය හෝටල් සේවකයන් විසින් වෙන් නොකිරීමට COVID-19 ට ඇති බිය හේතු විය හැකි බවයි.

එසේම අපද්‍රව්‍ය එක් රැස් කර ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් නව නිෂ්පාදනයක් ලබා ගත හැකි වීම මහේෂ් දකින්නේ ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වාසියක් ලෙසයි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික්වලින් ෆයිබර් සහ   ඇඟළුම් වැනි නිෂ්පාදනයන් සිදු කළ හැකි අතර 2019 ICC ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය පවා නිර්මාණය කර තිබුණේ මුහුදු වෙරළෙන් ලබාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලිනි.

රට පුරා අනිසි ලෙස බැහැර කර ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය සුවිසල් ගැටලූවක් බව හඳුනාගෙන ඇති ඉකෝ ස්පින්ඞ්ල්ස් පසුගිය වසර කිහිපය පුරා මහේෂ්ගේ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ ඒ තුළින් සිදුවන පාරිසරික සංවර්ධනයටද රුකුලක් වෙමිනි. ඔහුගේ ව්‍යාපාරයට තවදුරටත් පහසුවක් වෙමින් ඉකෝ ස්පින්ඞ්ල්ස් විසින් ප්ලාස්ටික් එකතු කර ඒවා සම්පීඩනය  කර ගැනීම සඳහා යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත. ඒ තුළින් තමන් විසින් එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය යන්ත‍්‍රයට සම්පීඩනය කර ගනිමින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් වෙත ප‍්‍රවාහනයේදී වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් සලසා ගැනීමට මහේෂ්ට අවස්ථාව උදා වනු ඇත.

අපද්‍රව්‍ය රැස් කිරීම සදහා මහේෂ්ට අවශ්‍ය වන හට් එකක් සවි කිරීමෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගයද මහේෂ්ට ලබා දී ඇත. ‘‘කොවිඞ් නිසා මගේ ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරගෙන යාමට නොහැකි වී තිබෙනවා. මට මෙය ඉතා හොඳින් කරගෙන යාමට අවශ්‍යයි. මධ්‍යම පරිසර අධිකාරියට PET ප්ලාස්ටික් එකතු කිරීමට අමතරව ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා අවශ්‍ය යන්ත‍්‍රයක් ලබා දීමට හැකි නම් මට තනිව ප‍්‍රතිචක‍්‍රීයකරණ කටයුතු කළ හැකියි’’ මහේෂ් පවසන්නේ එවැන්නකි.

COVID-19 හේතුවෙන් සීඝ‍්‍රයෙන් වෙනස් වීමට ලක්ව ඇති පරිසරයක් තුළ තම ව්‍යාපාර ව්‍යුහයේද වෙනසක් මහේෂ් අපේක්ෂා කරයි. ඒ සඳහා පරිසරයට විසිකරන යෝගට් කෝප්ප වැනි වෙනත් වර්ගවල ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා මෝල්ඩින් යන්ත‍්‍රයක් ස්ථාපනය කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි. මට ඒ ආකාරයේ යන්ත‍්‍රයක් තිබේ නම් ඉවතලන මල් පෝච්චි, බේසම් වැනි දේවල්වලින් හොඳ ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ මහේෂ්ගේ බලාපොරොත්තුවයි.

මෙහිදී COVID-19 හේතුවෙන් රැකියාවලට එල්ල වී ඇති බලපෑම පිළිබඳවද මහේෂ් අදහස් දැක්වීය. සංචරණය සීමා කිරීම් හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම මත මෙරට සේවා අංශය, නවාතැන්, ප‍්‍රවාහන, ආහාර, සහ පුද්ගලික සේවා වැනි අංශයන්හි රැකියාවලට ඒ ආකාරයේ බලපෑම් එල්ල වී ඇති අතර ඔහු අපේක්ෂා කරන්නේ තම ව්‍යාපාර හා එකතු කිරීමේ ජාලය පුළුල් කිරීම තුළින් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූවන්ට රැකියා ලබා දීමට හැකි වනු ඇති බවයි.

ඒ මහේෂ්ගේ කතාවයි. එය මෙරට PET ප්ලාස්ටික් එකතු කරන 200කට අධික එකතු කරන්නන්ගේ එක් කතාවක් පමණකි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණ මධ්‍යස්ථානවලට යොමු කරවීම මහේෂ් සිය රැකියාවටත් වඩා වගකීමක් ලෙස සලකනු ලබයි.

මහේෂ් සිය කාර්යභාරය ඉටු කරනු ලබන්නේ අපගේ සියලූ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කර නව නිෂ්පාදනයක් ඇති කිරීම වෙනුවෙනි. මහේෂ්ගේ අදහස් අනුව යමින් සෑම කෙනෙකුටම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචක‍්‍රීයකරණය ඉහළ නැංවීමට හා වැඩි දියුණු කිරීමට වගකීමක් ඇත. ඒ සඳහා PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බඳුන් 300කට වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව පුරා ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්, ප‍්‍රජා මධ්‍යස්ථාන හා ප‍්‍රසිද්ධ ස්ථානයන්හි ස්ථාපිත කොට ඇත. ඔබේ අපද්‍රව්‍ය වෙන් කරන්න. වගකීමෙන් යුතුව බැහැර කරන්න. අපගේ ඉල්ලීම එයයි.

Visits: 134